Tuesday, July 17, 2012

කලාකරුවාගේ හෘදසාක්‍ෂිය


සමාජයට මතවාද ඇතුළත් කර ජනතාවගේ සිතුම්පැතුම් ආකල්ප ආදියෙහි විපර්යාස ඇති කරන පිරිසක් සිටිති. මාධ්‍යවේදීහු, ලේඛකලේඛිකාවෝ, නළු නිළියන් ගායක ගායිකාවන් ඇතුළු විවිධ ක්ෂේත‍්‍රයන්හි නිරත කලාකරුවෝ ආදීහු ඒ අතර වෙති. ඒ අතරින් නළු නිළියන්, ගායක ගායකගායිකාවන් බඳු ‘තරු’ සමාජයට කරන බලපෑම විශාලය. ඒ යම් යම් හේතු නිසා සෙසු පිරිසට වඩා සමාජ ආකර්ශනයක් ඔවුන්ට ඇති බැවිනි.

කලාකරුවන් සතුවිය යුතු වගකීම කුමක්දැයි අපේ බොහෝ කලාකරුවන් අවබෝධ කොටගෙන නැතිබවක් පෙනේ. කලාකරුවන්ගේ සමහර ක‍්‍රියාකලාපයන් හේතුවෙන් විශේෂයෙන් ඔවුන් කලාව භාවිතා කරන ආකාරය හේතුවෙන් සමාජයට සිදුවන්නේ විශාල හානියකි. එහෙයින් කලාකරුවකු සතු වගකීම පැහැදිලි කෙරෙන එක්තරා කලාකෘතියක් පිළිබඳ මේ කෙටි සටහන තබමි.

ඈන් ෆයින්ගේ ‘ඒලියස් මැඩම් ඩවුෙෆයර්’ නවකතාව අනුසාරයෙන් රැන්ඩි මෙයිම් සිංගර් හා ලෙස්ලි ඩික්සන් තිරනාටකට ලියා ක‍්‍රිස් කොලූම්බුස් අධ්‍යක්ෂණය කළ, ‘මිසිස් ඩවුට්ෆයර්’ (1993) රොබින් විලියම්ස්, මාර්ෂා ගාර්ෂස් විලියම්ස් හා මාක් රෙඞ්ක්ලිෆ් නිෂ්පාදනය කළ ප‍්‍රහසන චිත‍්‍රපටයකි. මේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයට පනපොවන්නේ ද රොබින් විලියම්ස්ය. කතාවට අනුව ඔහු පනදෙන චරිතය කටහඬ ශිල්පියෙකුගේය. ඔහුගේ චරිතය අපූර්ව එකකි. චිත‍්‍රපටයද අපූර්වය. ලොවපුරා විචාරකයන්ගේ ප‍්‍රශංසාවට පාත‍්‍ර වූ එය විලියම්ස්ගේ රඟපෑමේ කුසලතා පිළිබිඹු කරන හොඳම නිදසුනක් ලෙස හැඳින්වේ. එහෙත් ඒ සියල්ල මෙහිලා විස්තර කළනොහේ. මෙය චිත‍්‍රපට විචාරයක් නොවන හෙයිනි.

චිත‍්‍රපටයේ එක් අවස්ථාවක කටහඬ ශිල්පියා දරුවන් සඳහා වන කාටුන් චිත‍්‍රපටයකට හඩකවමින් සිටී. එහි නරියකු ගිරවකුගේ කටෙහි සිගරැට්ටුවක් ඔබන දර්ශනයක් තිබේ. කාටූනයෙන් පෙනෙන්නේ ගිරවා මහත් රුචියෙන් සිගරැට්ටුව උරන බවයි. එහෙත් කටහඬ ශිල්පියා කහින්නට පටන්ගනී. මේ මොහොතේ කාටුන් චිත‍්‍රපටයේ අධ්‍යක්ෂවරයා ‘මොනවද ඔය කරන්නේ?’ යි අසයි. ‘මම කරන්නේ සිද්ධවෙන දේයි’ කටහඬ ශිල්පියා කියයි. එවිට අධ්‍යක්ෂවරයා ‘පිටපතට අනුව කටයුතු කිරීමට’ කටහඬ ශිල්පියාට නියෝග කරයි.

‘‘මම පිටපතේ තියෙන දේ කිව්වොත් මේ කාටූනය නරඹන ලක්ෂ ගණන් දරුවන් සිගරැට් බීම ඉතාම තෘප්තිමත් දෙයක් කියලා හිතයි’’ කටහඬ ශිල්පියා පිළිතුරු දෙයි. ‘‘මේ කාටූනය ලක්ෂ ගණනක් වියදම් කරලා කරන වැඩක්. පිටපතේ තියෙන දේ කියන්න බැරිනම් රස්සාව දාලා ගෙදර යන්න පුළුවනි.’’ අධ්‍යක්ෂවරයා කෝපයෙන් නියෝග කරයි. සිනහවකින් මුව සරසාගන්නා කටහඬ ශිල්පියා රැකියාව අතහැරදා ගෙදර යයි. (චිත‍්‍රපටයට අනුව රැකියාව අහිමිවීම නිසා ගැටලූ රාශියකට මුහුණදී විවාහ ජීවිතය පවා කඩාකප්පල් කරගන්නා කටහඬ ශිල්පියා අවසානයේ සිය හැකියාව නිසාම සාර්ථක පුද්ගලයකු බවට පත්වෙයි.)

අපේ කලාකරුවන් ගාලූමුවදොර පිටියට රැස්කරවා මේ චිත‍්‍රපටිය නැරඹීමට සැලැස්විය හැකි නම් අපූරුය.  

වර්තමානයේ අපේ සමාජයෙහි මේ ආකාරයෙන් තම වගකීම පිළිබඳ අවබෝධයෙන් හිතට එකඟව කටයුතු කරන කලාකරුවෝ කීදෙනෙක් සිටිත්ද? එදා පටන් අද දක්වා කලාව නිසා සමාජයට සිදුවූ අහිතකර බලපෑම් පිළිබඳව නම්  ඕනෑ තරම් නිදර්ශන පෙන්නාදිය හැකිය.


මේ චිත‍්‍රපටය පිළිබඳව ලෝකයේ බොහෝ රටවල විචාරකයෝ ගණනාවක් විචාර විවේචන කළහ. ඒ හැම එකකින්ම පාහේ පැවසුණේ රොබින් විලියම්ස්ගේ විටක රංගන හැකියාව පිළිබඳවයි. (අප ඇස නොගැටුණු ඊට පටහැනි විචාර තිබුණා දැයි නොදනිමි.) මා ඉහත දැක්වූ ආදර්ශය පිළිබඳව කිසිදු විචාරකයකුගේ අවධානය යොමු වූ බවක් නොපෙනේ. එසේම, දරුවන් සඳහා වැඩසටහන් ඉදිරිපත් කරන්නන්ට ඉතා වැදගත් කරුණු ගණනාවක් මේ චිත‍්‍රපටයෙන් ඉදිරිපත් කෙරේ. එසේම මාපිය දූදරු සබඳතා පිළිබඳ ඉතා ආදර්ශවත් අදහස් චිත‍්‍රපටයෙන් පැවසේ. එහෙත් කිසිවකුගේ (බොහෝ දෙකනුගේ) අවධානය චිත‍්‍රපටයේ යටිපෙළ කෙරෙහි යොමු නොවීම කනගාටුවට කරුණකි. ඒ අතින් ගත් කල අපේ ඇත්තන්ගේ සහ එහේ ඇත්තන්ගේ එතරම් වෙනසක් නැත.


4 comments:

  1. ලස්සන චිත‍්‍රපටියක් සහ නියමම විග‍්‍රහයක්. ඇනකොන්ඩා අපි නොදකින නොසිතන දේ පැහැදිලි කරනව එළ එළ. ජය වේවා

    -සමී

    ReplyDelete
  2. ඇයි මෙහෙත් ඉන්නෙ හොඳ කලාකරුවන්. ජැක්සන් ඇන්තනී, මාලනී ෆෙන්සේකා, පබා.....

    හොඳ ලියමන් ඇනකොන්ඩාට ජය!

    ReplyDelete
  3. ohoma atagala liyanna epa. kana palenna dennaona ape olmorondam kalakarainta. Api full bokken harida ANE?

    ReplyDelete
  4. ඇනකොන්ඩගෙ ලිපිය කියවල එක පාරම කොමෙන්ටුවක් දානවට වඩා මිස් ඩවුට්ෆයර් හොයන්න ඔ්න කියල මට හිතුණ. කොහොමහරි යන්තම් බාගෙන බලපුවමයි තේරුණේ ඇනකොන්ඩ දිලිසෙන ඇස් දෙකෙන් පුලුල් පරාසයක් දකින විත්තිය.
    ඇනකොන්ඩට මතක නම් අර අධ්‍යක්ෂකය කටහ`ඩ ශිල්පියට කියනව උඹට සල්ලි ඔ්නද නැත්නම් ගාන්ධි සෙල්ලම් කරන්න ඔ්නද කියල.. එතනදි අපේ ප‍්‍රධාන චරිතය තමන්ගෙ ප‍්‍රතිපත්තිය ප‍්‍රකාශ කරන්නෙත් ගාන්ධිතුමන් අනුකරණය කරල. ඒ ප‍්‍රහසනය තුළිනුත් ඔවුන් කොයි තරම් දෙයක් කියනවද හිතෙන්නෙ ඇනකොන්ඩගෙ විස්කරේට පස්සෙයි. අපේ රටේ කලාව ගැන කතා නොකරම ඉන්න හිතෙන තරමට ඒ ඇත්ත තිත්තයි. රටේ ඉන්න සේරම කලාකරුවො කියන අය එක තැනකට ගෙනැත් පෙන්නන්න කිවුවත් එතකොට කෙනෙක් කියයි ඔ්ක බටහිර ගැතිකම හරි මොකක්හරි කියල. කාට කියන්නද? කොහොම වුණත් උත්සහය වටිනව කියල නොකිය බෑ. ගිහින් එන්නං. ජය..
    ඉසුරු

    ReplyDelete

අදහස් දක්වන්න