Wednesday, October 15, 2014

සිංහල 'චේ'ලා නොදන්නා චේගේ ජාතිකත්වය






‘හිසරදයට කොට්ටය මාරු කරනවා වගෙයි’ කියා සිංහල උපහැරණයක්  තියෙනව. අපේ පැරැුන්නන් මෙවැනි උපහැරණ භාවිතා කෙරුවෙ ජනතාව දැනුවත් කරන්නයි. ලෙඬේට බෙහෙත් නොකර මෝඩ විසඳුම් ඉදිරිපත් කරන්න එපා කියන උපදේශය මෙම උපහැරණය මගින් සපයනව. බටහිරට යටවී ඊළම්වාදීන්ට දණ හා හිස පමණක් නොවෙයි මුළු ශරීරයම පාපිස්සක් කරගෙන හිටි රනිල් වික‍්‍රමසිංහ වැනි නායකයින් පහකර මහින්ද රාජපක්ෂව ජනාධිපති ධුරයට පත්කර ගැනීම කොට්ට මාරුවක් නොවෙයි. ජනතාවගේ නුවණැති ක‍්‍රියාවක්.  රාජපක්ෂ ජනාධිපතිවරයා කොටි පරාජය කිරීමේ සටන මෙහෙයවා ජනතාවට නිදහස ලබාදුන්න. ප‍්‍රශ්නය මතුවුණේ කොටි හිතවාදී රටවල් ඔහුව ජාත්‍යන්තර ද`ඩුකඳට ගෙනියන්ඩ දරපු උත්සාහයේදී ඔහු ඉස්ලාම් රටවල පිළිසරණ පැතීමට යාමෙනුයිි.

ඔහු ඉස්ලාම් රටවල පිළිසරණ පතන්ඩ පතන්ඩ ලංකාවෙ ඉස්ලාම් නායකයින් ඒ වාසිය අරගෙන ඔවුන්ගේ බලය පතුරුවා ගත්ත. මේ නිසා සිංහල ජාතියට හා බෞද්ධයාට මහ අසාධාරණයක් සිදු වුණා. එය ඔවුන්ට වේදනාවක් වෙන්නෙ ජයරත්න අගමැතිවරයා ප‍්‍රධාන ඇමතිවරුන් පිරිසක් බෞද්ධයන්ට රිදෙන විදිහට කටයුතු කරන්ඩ පටන්ගත් නිසයි. මේ වාගෙ දුර්වලයෙක් අගමැතිකමට දමාගැනීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ලොකුම දුර්වලකමක් විදිහටයි ඇතැම් නුවණැත්තන් හිතන්නෙ. 

යූඇන්පී පාලනයක්  සඳහා ජනතාව උසිගන්වන්නන් මේ කාලයේ වැහි-වැහැල. චීනය ඉන්දියානු සාගරයෙන් වැට්ටවීමට හිතන බටහිරුන් මේ සඳහා අත දිගඇරල මුදල් යොදෝනව. ඔවුන්ට දාසකම් කරන්නන් තමයි  මහින්ද රාජපක්ෂට බෑ, රනිල්ට පුළුවන් කියා කියවන්නෙ. රනිල්  කියන්නෙ ලංකා දේශපාලනයේ අන්තිම දුර්වලයෙක්. බටහිර රූකඩයක්.  මහින්ද රාජපක්ෂ වෙනුවට රනිල් රටේ නායකයා වශයෙන් තෝරා ගැනීම නිවැරදි මග කියල කිසියම් පුද්ගලයෙක් කියනවා නම් ඒ පුද්ගලයා දේශපාලන දැනුමෙන් බූරුවෙක් විය යුතුයි. එහෙම නැතිනම් ලංකාව බටහිරට අල්ලා දී රට බෙදා යළිත් රටේ මහා විනාශකාරී යුගයක් ඇතිකිරීමට සිතන දුර්ජනයෙක්. ජනතාවගේ පැත්තෙන් ගත්තාම හිසරදයට සිය දිවි හානිකර ගැනීමක්. හිසරදයට වෛද්‍ය ප‍්‍රතිකර්ම කිරීම මිසක් දිවි හානිකර ගැනීම හරිම මුග්ධ ක‍්‍රියාවක්. සිංහලයින් එක්සත්වීම තමා ඊට බෙහෙත. ප‍්‍රතිකර්මය. ඔන්න ඔතනදි බොදු බල සේනා, ජාතික හෙළ උරුමය වැනි සංවිධානවලට මහ වගකීමක් තියෙනව.
හැබැයි වාමාංශික සංවිධානවලින් නම් රටට කිසිම වැඩක් වෙන්නෙ නෑ. රාජපක්ෂ ආණ්ඩුව ජනතාවට අප‍්‍රිය කිරීමට වාසුදේව, ආතාවුද, ඩිව් ගුණසේකර වැනි වාම පක්ෂවල නායකයින් මහ ලොකු වැඩ කොටසක් සිදුකරල තියෙනව. මේ අය කතා කෙරුවොත් කතාකරන්නෙ සිංහල බෞද්ධයන්ට විරුද්ධවයි. වැඩක් කෙරුව නම් ඒ හැම විටම සුළු ජාතීන් වශයෙන් ඒ අය සඳහන් කරන දෙමළ සහ ඉස්ලාම් ජන කොටස් සඳහා පමණයි. සුළු ජාතීන් යයි කිව්වට මේ ජන කොටස් දෙක ලංකාවෙ ආර්ථික බලය මෙහෙයනව. ඔළුගෙඩි වැඩි වුණාට සිංහලයන්ට රටේ කිසිම බලයක් නෑ.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ චේ ගුවේරා සමරු උත්සව පවත්වනව. චේ ගුවේරා කියන්නෙ දකුණු ඇමරිකාවෙ රටක ඉපදුන කියුබානු විප්ලවයට උපකාර කරපු දොස්තර කෙනෙක්. පසුව වෛද්‍ය වෘත්තිය අතඇරල ගොරිල්ලා නායකයෙක් වශයෙන් බොලිවියා නිදහස් සටනක් ආරම්භ කරන්ඩ ගිහින් බොලිවියානු හමුදාවට හසුවෙලා, ඔවුන් චේ මරා දැමුවා. චේ දේශපාලන දර්ශනවාදියෙක් නොවෙයි. කියුබානු විප්ලවයෙන් පස්සෙ ඒ විදිහටම සටන් කරල බොලිවියාවෙ ආණ්ඩුව වෙනස් කරන්ඩ හැකිවේවි කියන හැඟීම ඇතිව ඔහු කටයුතු කළා. දර්ශනයක් නොතිබුණ චේගේ ගොරිල්ලා න්‍යායට අනුව කටයුතු කරන්ඩ ගිය ජවිපෙරමුණ අසරණ සිංහල බෞද්ධ තරුණ තරුණියන් දාස් ගණනකගෙ ජීවිත විනාශ කෙරුව. චේ ව්‍යාපාරයට සම්බන්ධ වූවා යයි අත්අඩංගුවට ගෙන භික්ෂුණ් වහන්සේලා පන්සියයනට ආසන්න ප‍්‍රමාණයක්  මරාදමා තියෙනව. මේ නිසා සිය ගණනක් විහාරස්ථාන පාළු වී ගියා. ඒ කාලෙ ලංකාවෙ සිංහල පළාත්වල වධකාගාර තිබුණ. රනිල් වික‍්‍රමසිංහගේ ආසනයෙත් බටලන්ද කියල ලොකු වධකාගාරයක් තිබුණ බව කවුරුත් දන්නව. මේ හැම දෙයක්ම සිදුවුණේ යූඇන්පී ආණ්ඩුව යටතෙයි. ජේවීපිය ’චේ’ සැමරුම් පවත්වමින්  රටට දෙන පණිවිඩය කුමක්ද?
   
අනගාරික ධර්මපාලතුමා කියන්නෙ වැටී තැලී පොඩිවී සිටි සිංහලයන් පිබිදවීමට සිය ජීවිතයම කැපකරපු සිංහල බෞද්ධ නායකයෙක්. ‘මම අවිහිංසාවාදියෙක්’ කියා කෑමොර නුදුන්නාට එතුමා අවිහිංසාවාදී නායකයෙක් වශයෙන් හැමදාම කටයුතු කළා. මහත්මා ගාන්ධි සමග සංසන්දනය කරන විට එතුමා ගාන්ධිතුමාට වඩා අවිහිංසාවාදියෙක්. ගාන්ධිගේ අවිහිංසාවාදය ගැන ලියවි තියෙන පොත පත පරිශිලනය කරන්න. එතුමාගේ අවිහිංසාවාදයේ ප‍්‍රධාන ලක්ෂණයත් තමා ස්වයං හිංසාව. ආහාර පාන නොගෙන උපවාස කිරීමෙන් දිවි තොර කර ගැනීමට වෙර දැරීම එතුමා විරෝධය ප‍්‍රකාශ කරපු ක‍්‍රමය වුණා. බුදු දහමේ හැටියට පර පණ නැසීම මෙන්ම තමාගේ පණ හානිකර ගැනීමත් පාපයක්. ධර්මපාලතුමා සතුරන්ට එරෙහිව හිංසාව භාවිතා කිරීමට උත්සාහ දැරුවෙවත් සිය දිවි නසා ගැනීමට උත්සාහ දැරුවෙවත් නැහැ. එතුමා ගාන්ධිට වඩා අවිහිංසාවාදියෙක් කියල කියන්නේ ඒ හින්දයි. වෙනත් වචනවලින් කියතොත් එතුමා සිංහල බෞද්ධ අවිහිංසාවාදියෙක්.  
බි‍්‍රතාන්‍යයන්ට විරුද්ධව සිංහල ජාතියට නිදහස ලබාදීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරපු නායකයෝ අපට ඉන්නව. කැප්පෙටිපොළ, පිළිමතලාවේ වැනි එවැනි වීරයෝ හැරුන විට නිදහස් රටක් සඳහා ජීවිත පරිත්‍යාග කරපු පුරංඅප්පු, ඩිංගිරාල, කුඩාපොළ උන්නාන්සේ වැනි නායකයින් පිළිබඳව බොහෝ තොරතුරු අප දන්නව. බි‍්‍රතාන්‍යයන්ගෙන් ඉන්දියාව පමණක් නොව ආසියාවම නිදහස් කිරීම සඳහා කැපවුන ඉන්දියානු නායකයින් ඉන්නව. සුභාස් චන්ද්‍රබෝස් එවැන්නෙක්. නමුත් ආසියාවේ කිසිම රටක වෙනත් රටවල උපන් අධිරාජ්‍ය විරෝධී අරගලවලට සම්බන්ධ වූ නායකයින් පිදීමක් සිදුවෙන්නෙ නෑ. ඒ හැම රටකම ස්වදේශික වීරයින් සිහිකරනව. අගය කරනව.

දකුණු ඇමරිකාවේ රටවල් ඔවුන්ගේ ජාතික වීරයන් සිහිකරනව. චේ කියුබානුවෙක් නොවුනත් කියුබානුවන් චේ සිහිකරන්නේ ඔහු කියුබානු විප්ලවයට උපකාර කළ හින්දයි. මෙය උපමාවකින් දක්වතොත් සිංහල බෞද්ධයන් ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් සිහිකිරීම වැනි ක‍්‍රියාවක්. මහින්ද හිමි ටිබෙට් ජාතිකයෙක් වුණත් සිංහල දේශයේ ජීවත්වූ, සිංහලයන් අවදි කළ භික්ෂුවක්.

ලංකාවෙ චේ සිහිකිරීමේ උත්සව පවත්වන ජවිපෙ කවදාවත් සිංහල ජාතික වීරයින් සිහිකරන්නෙ නෑ. ඒකෙන් පැහැදිලි කරන්නෙ ඔවුන්ට ජාතිකත්වයක් නැතිබවයි. ජාතිකත්වක් නැති මිනිස්සු ලෝකයෙ වෙනත් රටවල නෑ. ඇමරිකාව, රුසියාව, කියුබාව ආදි හැම රටකම මිනිස්සුන්ට ජාතිකත්වය තියෙනව. එහෙම නම් ජාතිකත්වය නැති සිංහලයො ලංකාවෙ ඇතිවුණේ කොහොමද? මේක උත්තරයක් දෙන්ඩ අමාරු ප‍්‍රශ්නයක්.

No comments:

Post a Comment

අදහස් දක්වන්න