වස කෑමෙන් හෝ බීමෙන් මරණය අත්කර ගැනීමට හැකි බව මළපොතේ අකුරු නොදන්නා මිනිස්සු මෙන්ම ගොන් මෝඩ මිනිස්සුත් දනිති. වස පානයෙන් සිදු වන මරණය ඉතාම වේදනාකාරී මරණයක් බව ඔවුන් වැඩි පිරිස දන්නේ සමාජයේ ජීවත්වීමෙන් ලත් දැනුමෙනි. නමුත් විද්‍යා දැනුමෙන් යුතුව කටයුතු කළ ඇල්ටීටීඊ සංවිධානය සිය සාමාජිකයන්ට කරේ පැළදීමට සයනයිඞ් කරලක් දුන්නේය. හදිසියකදී ඒ සයිනයිඞ් කරල කටට දමා හැපූ විට ඉතාම කෙටි වේලාවකින් අඩුම වේදනාවක් ඇතිව මරණය හිමිකර ගත හැකි බවට ඇල්ටිටීඊ සාමාජිකයෝ දැනුවත් වී සිටියහ. මීටත් වඩා පහසුවෙන් මරණය හිමිකර ගැනීමේ ක්‍රමයක් තිබේ දැයි යමෙකුට සැක පහළ කරන දැන්වීමක් ජාතික විද්වත් සභාව ප්‍රකාශයට පත් කර ඇත. ඒ කුමක් දැයි දැන ගැනීමට අගෝස්තු 6 වැනිදා ජාතික පුස්තකාල සහ ප්රලේඛණ සේවා රැස්වීම් ශාලාවට යා යුතුයි. එහි දී විද්වත්හු හතර දෙනෙක්ම ‘නිහඬ මරණයකට පාර කපන වස විස පිරි ආහාර’ මැයෙන් දෙසුම් හතරක් පවත්වති.
යටත් විජිත යුගයේ විශේෂයෙන් ලංකාවේ ගැමියන් අතර උගතුන් වශයෙන් කැපී පෙනුණු ඉස්කෝල මහත්තුරු ‘කජු පේර වරකා ජම්බු ජම්බල නරකා’ කියමින් පාසැල් දරුවන් ගමේ හැදෙන පලතුරුවලින් ඈත් කිරීමේ මහ වැඩපිළිවෙළක නියැළුණහ. සමහර ගම්වල ඉස්කෝල මහත්තුරු මූලික වී පේර, ජම්බෝල ගස් වනසන ව්‍යාපෘති ක්‍රියාත්මක කළහ. ඔවුන් ඒ සටන ගෙන ගියේ අවංක චේතනාවෙනි. දේශීය පලතුරු කෑමෙන් මහජනයා ලෙඩ රෝග වැළඳගෙන අකාලයේ මිය යතැයි යන විශ්වාසයෙනි.
මීට පසු කලෙක රටේ උගතුන් වශයෙන් කැපී පෙනුණු දොස්තරවරු බොහෝ දෙනා පොල්, පොල් කිරි හා පොල් තෙල්වලට විරුද්ධව මහා ප්‍රචාරයක් ගෙන යමින් පොල් ආහාරයට ගන්නා සිංහලයන්ගේ ශරීරයේ නරක කොලස්ටොරෝල් පිරී ඔවුන් හෘදයාබාධවලට ලක්වන බවට ප්‍රචාරයක් ගෙන ගියහ. දරුවන්ට මවු කිරි වෙනුවට පිටිකිරි සුදුසුයැයි ප්‍රචාරය කරන්නට ගත්තෝද දොස්තරවරුමය. ඇමරිකානු සමාගම් පොල් නිෂ්පාදනයන්හි බලය අල්ලාගත් පසුව දැන් සියලූම දොස්තරවරු ඒ කතාව වෙනුවට ශාක ආහාර නිසා ශරීරයේ කොලස්ටොරෝල් හුටපටයක් සිදුනොවන බව පවසති. ඇමරිකාව ආදි බටහිර රටවල් මවුකිරිවල ගුණ කියන්නට පටන්ගත් පසුව අපේ දොස්තර මහත්තුරුද දැන් මවුකිරේ අගය කියති.
විද්වත් සභාව විසින් සංවිධාන කරනු ලබන දේශන මාලාවට සම්බන්ධ වන ප්‍රසිද්ධ දේශකයන් හතර දෙනා අධිරාජ්‍යවාදීන්ගේ හෝ බටහිරුන්ගේ සමාගම්වලට අවනතව මහජනයා ගොනාට අන්දවන පුද්ගලයෝ නොවෙති. ඔවුන් ඊට පටහැනි දෙයක් කරමින් රසායනික වස විසවලට එරෙහිව මහජනයා දැනුවත් කිරීමට වෙහෙසෙන්නෝ වෙති. එවැනි පුද්ගලයන් හතර දෙනෙකු සහභාගි කරවාගෙන පවත්වන සම්මන්ත්‍රණය සඳහා යොදාගන්නා ‘නිහඬ මරණයකට පාර කපන වස විෂ පිරි ආහාර’ නමැති මාතෘකාව නම් රසායනික සමාගම්වලට සේවය කරන්නකි. එය කෙතට, වත්තට, ගොවිපළට හෙලන රසායනික වස නිසා සිදුවන මරණය නිහඬ, සැපවත් මරණයක් බව පෙන්වයි. මරණය බොහෝ විට කුරිරුය. දුක් සහිතය. එම නිසා ආහාර පාන මගින් නිහඬ මරණයක් ලබාගැනීමට හැකි නම් ඊට බොහෝ පිරිසක් කැමති වෙති. නිහඬ මරණයකට උදව් කරයි නම් රසායනික සමාගම් කරන්නේ එක්තරා ‘මහජන සේවයක්’ නොවේද?
අපේ රටේ බොහෝ උගතුන්ට හා විද්වතුන්ට මහජනයාට ආමන්ත්‍රණය කළ යුතු භාෂාව නොවැටහේ. මීට එක හේතුවක් සිංහල භාෂාව ගැන නිවැරදි දැනුමක් නැතිකමයි. පැරණි උගතුන් සිංහල දැනුම ලබාගත්තේ පාලි, සංස්කෘත භාෂා ඉගෙනීම මගිනි. හොඳ භාෂා දැනුමක් නැති වර්තමාන උගතුන් කියන ලියන දේ මහජනයාට නොවැටහේ. ජාතික විද්වත් මණ්ඩලයේ පෙර කී ප්රචාරක දැන්වීම එම මණ්ඩලයේ ඇත්තන්ගේ ‘විද්වත්භාවය’ පිළිබඳව ඇනකොන්ඩාගේ සිතෙහි සැකයක් ජනිත කරවයි.



