Friday, September 7, 2012

‘‘ඔබේ කේන්ද්‍රය ඔබම බලාගන්න’’


ජ්‍යොතිෂය වනාහි සමාජයට විශාල බලපෑමක් කරන ශාස්ත‍්‍රයකි. ජ්‍යොතිෂය නොපිළිගන්නා බව කියන ඇතැම් පුද්ගලයන් පවා විවාහය වැනි අවස්ථාවලදී රහසේ එහි පිහිට පැතීමට යොමු වෙති. ජ්‍යොතිෂය සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරන ඇතැමුන්ට පවා එබඳු අවස්ථාවලදී අන්‍යයන්ගේ බලපෑම මත ජ්‍යොතිෂය මත පිහිටා තීරණතීන්දු ගැනීමට සිදු වේ.

ජ්‍යොතිෂය සත්‍යයක් බව ඇතැමෙක් කියති. ජ්‍යොතිෂය පිළිගත නොහැකි බව තවත් සමහරු කියති. ජ්‍යොතිෂය ඇත්තක්ද බොරුවක්ද යන්න තීරණය කිරීමට තරම් මේ දෙපිරිසටම සුදුසුකම් නැත යන්න ඇනකොන්ඩාගේ විශ්වාසයයි. ජ්‍යොතිෂය යනු ශ්ලෝක ලක්ෂ හතරකින් (400000) යුතු ඉතා පැරණි ශාස්ත‍්‍රයකි. මේ ශ්ලෝක ලක්ෂ හතර තබා එයින් අලූක්කාලක් වත් දන්නා අයකු මේ වකවානුවේ සොයාගැනීමට සිටිතැයි සිතිය නොහැකිය. ලංකාවේ මෑත විසූ ප‍්‍රසිද්ධ ජ්‍යොතිෂවේදීන් පවා පර්යේෂණ මට්ටමින් එය භාවිතා කළවුන් විනා ඔවුන් ජ්‍යොතිෂය විෂය සම්බන්ධ ප‍්‍රාමාණිකයන් යයි කිව නොහැකිය. එහෙයින් අප කිසිවකුට මේ ශාස්ත‍්‍රයේ සතයාසත්‍යභාවය පිළිබඳව කතාකිරීමට දැනුමක් ඇතැයි නොසිතමි.

ජ්‍යොතිෂවේදීන්ගෙන් වැඩි පිරිසක් ජ්‍යොතිෂය භාවිතා කරන්නේ කිසිදු වගවිභාගයකින් හෝ ප‍්‍රමාණවත් දැනුමකින් තොරවය. නිදසුනක් ලෙස රේඩියෝ හා රූපවාහිනී ඉදිරියේ පෙනීසිටිමින් රසිකයන්ගේ කේන්ද්‍ර සටහන් උඩින් පල්ලෙන් බලා නැතිනම් ඒ ගැන ඇසූ පමණින් පලාපල කියන පිරිස් දැක්විය හැකිය. ජ්‍යොතිෂ පලාපල කීම ඔය තරම් පහසු කටයුත්තක් විය හැකිද? සාමාන්‍යයෙන් දළ කේන්ද්‍රය යනුවෙන් හඳුන්වන මූලික කේන්ද්‍රය පමණක් බලා පලාපල කීමට නොහැකි බව ජ්‍යොතිෂ ශාස්ත‍්‍රයේ මූල ග‍්‍රන්ථ කියයි. ඒ සඳහා සුදුසු ක‍්‍රමය වන්නේ භාව කේන්ද්‍රය පරීක්ෂා කිරීමයි. එසේම, ද්‍රෙෂ්කාණ, නවාංශක, ත‍්‍රිංශාංශක, ශෂ්ට්‍යාංශක ආදි වශයෙන් ‘අවස්ථාව’ තෙක් විස්තර, ග‍්‍රහයින්ගේ උච්ච-නීචබව, සතුරු-මිතුරු බව, ඒඒ ග‍්‍රහයින්ගේ දෘෂ්ටි, ග‍්‍රහයෝග ආදි වශයෙන් දැඩි පරීක්ෂාවකට ලක් කළ යුතු කරුණු ගණනාවක් වෙයි. මෙය පහසු කටයුත්තක් නොවේ. ඉතා බරපතල පරීක්ෂණ ක‍්‍රමවේදයකි. පොරොන්දම් ගැලපීමේදී සාමාන්‍යයෙන් පරීක්ෂා කරනුයේ චන්ද්‍රයාගේ බලපෑම මත කෙරෙන විග‍්‍රහයන් පමණි. විවාහයකදී ඊට වඩා බලපෑම් කෙරෙන ග‍්‍රහ පිහිටීම් ගණනාවක් පිළිබඳව ජ්‍යොතිෂ සිද්ධාන්තවල සඳහන් වේ. මේ කිසිවක් පරීක්ෂා නොකර පලාපල කියන්නේ කෙසේද? 

තවත් සමහරු තමන්ගේ කේන්ද්‍රය තමාටම පරීක්ෂා කරගැනීමට උපදෙස් දෙමින් පොත් පළකරති. මෙය නම් පුදුම විජ්ජාවකි. විහිළුවකි. ජ්‍යොතිෂයේ මූළිකාංගවත් නොදන්නා කෙනෙකු කේන්ද්‍රයක් පරීක්ෂා කරන්නේ කෙසේද? පුවත්පත් ආදියෙන් ඒ ඒ ග‍්‍රහපිහිටීම් පිළිබඳව පළ කරන ලිපි කියවා තම කේන්ද්‍රයේ පලපල විග‍්‍රහ කරගන්නට ගොස් නන්නත්තාරවන අහිංසකයන් ගණනද සුලූපටු නොවේ.

භාව කේන්ද්‍රයක් යනු යම් තැනැත්තකු උපදින විට උදාවී ඇති ලග්නය අංශක කීයක් ගෙවා ඇත්ද යන්න මත පිහිටා සාදනු ලබන කේන්ද්‍ර සටහනයි. දල කේන්ද්‍රයේ හෙවත් කොටු දොළහේ කේන්ද්‍ර සටහනේ ඇත්තේ අංශක 360 රාශි දොළහට බෙදාදැක්වීමයි. ඒ අනුව එක් කොටුවක් යනු අංශක 30කි. අංක 1 කොටුව යනු කෙනෙකු උපදින විට ක්ෂිතිජයෙන් උදාවී ඇති ලග්නයයි. එම ලග්නය පුද්ගලයා උපදින විට ගෙවා ඇති අංශක ගණන සොයාබලා එම අංශකයේ සිට අංශක 30ක් පළමු රාශිය ලෙස ලකුණු කෙරේ. ඉතිරි අංශක 330 අනෙක් රාශි 11අතර බෙදීයයි. දල කේන්ද්‍ර සටහනේදී ක්ෂිතිජයෙන් උදාවී තිබුණු අංශක ගණන සැලකිල්ලට ගැනීමක් නැත. එහි මුල් රාශියේ ආරම්භය අංශක 0 ලෙස උපකල්පනය කෙරේ. මෙයින් සිදුවන වරද නම් ග‍්‍රහයන්ගේ පිහිටීම් වෙනස්වීමයි.

මෙය අවබෝධ කරගැනීම පහසු වනු පිණිස සරල උදාහරණයක් දක්වමි. කිසියම් තැනැත්තකු උපදින විට ක්ෂිතිජයේ ධනු ලග්නය අංශක 20ක් පසු කර තිබුණා යයි සිතමු. එවිට සැබෑ කේන්ද්‍රයේ 1 කොටුවේ ආරම්භය යනු ධනු ලග්නයේ අංශක 20යි. අංශක 0 නොවේ. අංශක 0 සිට අංශක 19 දක්වා කොටස සත්‍ය වශයෙන් ඇත්තේ 12 කොටුවේය. නමුත් බොහෝ දල කේන්ද්‍ර දෙස බැලූ පමණින් මේ බවවටහාගත නොහැකිය. ඒවායේ ඇත්තේ 1 කොටුව ධනු ලග්නය බවයි. (ඇතැම් ජ්‍යොතිෂකරුවෝ නම් අංශක ගණන දක්වති.) දැන් කුජ ග‍්‍රහයා මිථුන රාශියේ අංශක 4ක් ගෙවා ඇතැයි සිතමු. ඒ අනුව දල කේන්ද්‍ර සටහනක නම් කුජ ග‍්‍රහයා 7 වැනි කොටුවේ ලකුණු තිබෙනු දැකිය හැකිවේ. දැන් මිථුනයේ අංශක 4 සත්‍ය වශයෙන්ම පිහිටා ඇත්තේ කොහේ දැයි සිතන්න. එය ඇත්තේ 7 වැනි කොටුවේ නොව 6 වැනි කොටුවේය. මක්නිසාද? මිථුන ලග්නයේ මුල් අංශක 19ක් ඇත්තේ 6 වැනි කොටුවේ බැවිනි. භාව කේන්ද්‍රයකින් මෙය තහවුරු කරනොගතහොත් අර අසරණයාට ලේසියකට කසාදයක් බැඳගන්නට නොහැකි වෙයි. ‘කුජ 7 දෝෂය’ බලපාන බැවිනි. (මේ ලිපියට ලැබෙන ප‍්‍රතිචාර අනුව අවශ්‍ය යයි හැඟුණොත් ‘කුජ 7 දෝෂය’ පිළිබඳ වැරදි විග‍්‍රහයන් ගැන පසුව ලියමි.)

ග‍්‍රහයෝග හෙවත් ග‍්‍රහයින් කීපදෙනකු එක රාශියේ සිටින විට ඒ ඒ ග‍්‍රහයින් එම ග‍්‍රහයින්ගේ රශ්මි මණ්ඩලවලට අසුවන පරිදි ළංව පිහිටා තිබේ දැයි බැලිය යුතුය. නිකංම එක් කොටුවක ග‍්‍රහයින් කීපදෙනකු ලකුණු කර තිබුණු පමණින් එය යෝගයක් නොවේ. රවිගේ රශ්මි මණ්ඩලය අංශක17කි. ඉදිරියෙන් හා පසුපසින් අංශක 8.5 බැගින් වන සේය. චන්ද්‍රයාගේ අංශක 12කි. අනෙක් ග‍්‍රහයින්ගේ අංශක 8කි.

ග‍්‍රහයෙකුගේ නියම ස්වභාවය හෙවත් ‘අවස්ථාව’ නොදැන පලාපලකීම කෙසේ වත් නොකළ යුත්තක් බව ජ්‍යොතිෂ මූලග‍්‍රන්ථ පෙන්වාදෙයි. ග‍්‍රහයකුට අවස්ථා 12ක් තිබේ. ඒ ශයන, උපවේශන, නේත‍්‍රපාණි, ගමන, ආගමන, ආගම, ප‍්‍රකාශ, සභා, භෝජන, නේත‍්‍රපාණි, නිද්‍ර, කෞතුක යනුවෙනි. ග‍්‍රහයා කිසියම් රාශියක් තුළ මෙයින් කුමන අවස්ථාවේ පසුවන්නේ දැයි සොයාබැලිය යුතුමය. ඒ ඒ අවස්ථාවට අනුව ග‍්‍රහයාගේ ස්වභාවය වෙනස්වේ. කේන්ද්‍රයක ග‍්‍රහයින්ගේ ‘අවස්ථා’ සොයාගැනීමට විශාල ලෙස ගණනය කිරීම් කළ යුතුය. උදාහරණයක් දැක්වීම පවා අසීරුවන්නේ ජ්‍යොතිෂය පිළිබඳ මූලික දැනුමවත් නැති කෙනෙකුට මෙය අවබෝධ කරගත නොහැකි බැවිනි. උපමාවක් කියන්නේ නම් මෙය චණ්ඩියා කොතැන කෙබඳු තත්වයකු පසුවන්නේ දැයි සොයාගත හැකි ක‍්‍රමයකි. හොරා කඩුව අතින් ගෙන තමන් යන පාරේද, නැතිනම් හිරේද යන්න දැනගන්නවාට සමාන දෙයකි. හොරා හිරේ නම් බයවෙන්නට දෙයක් නැත.

ජ්‍යොතිෂයේ සත්‍යාසත්‍යතාවය කෙසේ වෙතත් ජ්‍යොතිෂ පලාපල කීමේත් තමාම තමාගේ කේන්ද්‍රය බලාගැනීමේත් සත්‍යාසත්‍යතාවය දැන් වැටහෙනවා ඇතැයි සිතමි.

5 comments:

  1. කේන්දරවල සත්‍ය අසත්‍ය භාවවය ගන ඔබතුමා හිතන්නෙ කොහොමද?
    කේන්දර වල කියන දේවල් 100% සත්‍යයිද?

    ReplyDelete
  2. කේන්දර පමණක් නොව සකලවිද ජෝතිශයම 100% ක්ම බොරු බව මා හට ඔප්පු කල හැක...ජෝතිශය සත්‍ය යැයි පවසන යම් කෙනෙක් ඉන්නව නම් මෙන්න කතා කරන්න....මේ ලිපිය සම්පූර්න මිත්‍යාවකි..0716238533

    ReplyDelete
    Replies
    1. එටකොට උඹගේ ජතකයත් 100% බොරුද .එහෙම උන්ට අපි කියන්නේ අවජටකයෝ කියල.

      Delete
  3. බාසුර සමග එකග වෙමි.මගේ සියලුම ව්‍යාපාර, විවාහය, අපේ පවුලේ සියලුම දරැවන්ට නම් තැබීම්, (කේන්දර නැත) කේන්දර බැලීම් සුර දැමීම් මා කිසිදිනක කොට නැත.. එහෙත් ඒවා කරන පුද්ගලයන්ට මෙන්ම මටද සාමාන්‍ය ජීවන ගමනක් හිමිය..මම නම් කිසිදිනක ඔවැනි මිත්‍යාවන් විශ්වාස නොකරමි. හේතුවාදය පිළිගනිමි..

    ReplyDelete
  4. ක්‍රිෂ්ණ මුර්ති පද්ධතිය ඇසුරු කරගෙන භාව කේන්ද්‍රයක් පිලියෙල කලවිට පළමු භාවයට පිවිසෙන ග්‍රහයින් අප භාවිතා කරන කේන්ද්‍රයක් තුල බොහෝ අවස්ථා වලදී තැන්පත්ව ඇත්තේ දෙවන භාවයේ හෝ දොළොස්වන භාවයේය.මෙවන් අවස්ථාවක අප පලාපල කියවිය යුත්තේ එම ග්‍රහය කුමන භාවයේ තැන්පත් බව අවබෝද කරගෙනද?

    ReplyDelete

අදහස් දක්වන්න