Sunday, December 23, 2012

‘හලාල් නැත්තං ‘හරාම්’ කාපල්ලා - කුරානය



‘හලාල්’ යනු අරාබි වචනයකි. එයි ‘අවසරලත්’, ‘නීත්‍යානුකූල’ වැනි අදහසක් පැවසෙයි. හලාල් යන්නෙහි විරුද්ධ වචනය ‘හරාම්’ යනුයි. හලාල් යෙදුම බොහෝ විට පාවිච්චි කරන්නේ කිසියම් ආහාරයක් ඉස්ලාම් ෂාරියා නීතියට අනුකූල එකක්ය යන අවබෝධය ඉස්ලාම් භක්තිකයන්ට ලබාදීම පිණිසය. ‘හලාල්’ හෙවත් අවසරලත් ආහාර වන්නේ කුරානයේ සඳහන් ‘හරාම්’ හෙවත් අවසර නොලත් ගණයට නොවැටෙන ආහාර හා පානයන්ය. ඊයේ පෙරේදා ‘හලාල්’ පිළිබඳ සංවාදය ඇරඹීමත් සමග කලබල වූ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය පුවත්පත් දැන්වීමකින් නිවේදනයක් නිකුත් කළේය. එහි හලාල් ක‍්‍ර‍මය සහ එහි ඇති වාසි පිළිබඳ ඔවුන්ගේ අදහස් පළ කර තිබුණි. එහි හලාල් ආහාර පිළිබඳව තිබුනේ අංගසම්පූර්ණ විස්තරයක් නොවේ. ඉතා කෙටියෙන් සඳහන් කරන්නේ නම් ඌරුමස්, ලේ, අල්ලා හැර වෙනත් දෙවිවරුන්ට ඔප්පු කිරීමට මරණ ලද සතුන්ගේ මස්, මළකුණුවල මස්, බෙල්ල සිරකිරීමෙන්, එල්ලීමෙන්, (උල් ආයුධයකින්) ඇනීමෙන්, වෙනත් සතෙකුගේ ප‍්‍රහාරයකින් (සතෙකුගේ ප‍්‍රහාරයකට ලක්වුවත් පණ අදිමින් සිටියදී ඉස්ලාම් ක‍්‍රමයට මරාගන්නා සතෙකුගේ මස් හරාම් නොවේ) දිවි තොර කරන සතුන්ගේ මස්, ඝාතකයා ‘අල්ලාහු අක්බර්’ යැයි කියමින් නොමැරූ සතුන්ගේ මස් සහ මධ්‍යසාර ‘හරාම් ගණයට වැටේ. හලාල් වීමට නම් සතාව මරණ ක‍්‍රමයක් කුරානයේ සඳහන් කර තිබේ. නමුත් ‘හලාල්’ යෙදුම පාවිච්චි කරනුයේ ආහාර පාන සඳහා පමණක් නොවේ. බෙහෙත් වර්ග, රූපලාවන්‍ය කටයුතු සඳහා පාවිච්චි කරන ආලේපන ආදියද ‘හලාල්’ විය යුතුය. ඉස්ලාම් ආගමිකයන්ට හලාල් ආහාර පාන සපයාගත නොහැකි අවස්ථාවක බඩගින්න නිවාගැනීමට  ඕනෑම දෙයක් කෑමේ බීමේ අයිතියද කුරානයේ සුරා 5:3 (අල් මයිදා) යටතේ ලබාදී ඇත. නොපිළිගන්නා කෙනෙක් සිටියි නම් මෙන්න කුරාන වාක්‍ය.  

 
කතෝලිකයන්ගේ හා යුදෙව්වන්ගේ ආහාර පානද ප‍්‍රයෝජනයට ගැනීමේ අවසරය කුරානයේ සුරා 5:5 යටතේ ඉස්ලාම් බැතිමතුන්ට හිමිව ඇත. ඊට හේතුව ඉතාම සරලය. කුරානය යනු පරණ බයිබලය හෙවත් යුදෙව් බයිබලය ඇසුරෙන් සකසාගන්නා ලද නීති සංග‍්‍රහයකි. උදාහරණයක් පැවසුවහොත් ඌරු මස් කෑමේ තහනම පරණ බයිබලයේ සඳහන් වන්නකි. කතෝලික ආගමට පදනම වැටුණේද යුදෙව් ආගමෙනි. එම නිසා කතෝලිකයන්ගේ ආගමික මූලයන්ද යුදෙව් ආගමෙන් ලැබුණු ඒවාය. ඒ අනුව බලන කල යුදෙව්, කතෝලික හා ඉස්ලාම් යන ආගම් තුනම එකම මූලයකින් පැවතතෙන ඒවා වේ. එසේ නම් ඉස්ලාමිකයන්ට ‘හරාම්’ වෙද්දී කතෝලිකයන් ඌරුමස් බහුලව ආහාරයට ගන්නේ ඇයි දැයි ප‍්‍රශ්නයක් ඇති විය හැකි බැවින් මේ පිළිබඳ ඉතිහාසය ඉතා කෙටියෙන් විස්තර කිරීම හොඳයැයි සිතේ.

යුදෙව්වෝ ඊජිප්තු රටේ වහලූන් වශයෙන් ජීවත්වූහ. ‘මෝසස්’ නම් නායකයෙක් යුදෙව් වහල්ලූන් අමතා, තමන්ට ලෝකයේ මැවුම්කාරයා හෙවත් යොහෝවා මුණගැසුණු බවත්, යුදෙව්වන් අන් සියලූ දෙවිවරුන් අතහැර තමන් පමණක් අදහන්නේ නම් තමන් ඔවුන්ට කිරිපැණි උතුරන දේශයක් හිමිකරදී ලෝකයේ බලවත්ම  බවට පත්කරන බව එතුමා තමන් හා පැවසූ බවත් කීවේය. යුදෙව්වෝ යොහෝවා පමණක් ඇදහීමට පොරොන්දුවී මෝසස් සමග ඊජිප්තුවෙන් පළාගියෝය. යුදෙව්වෝ යොහෝවා තම එකම දෙවියා බවත් මෝසස් තම නායකයා බවත් පිළිගත්හ. යුදෙව් ආගමේ උපත එයයි. මෝසස් යොහෝවා පැවසූ බව කියමින් යුදෙව්වන්ට  නීති මාලාවක් පැනවීය. සුප‍්‍රකට දස පනත එහි කොටසකි. යොහෝවාගේ ‘පොරොන්දු දේශය’ සොයමින් කාන්තාරය මැදින් යන යුදෙව්වන්ගේ කසල ශෝධකයා වූයේ ඌරාය. යුදෙව්වන්ගේ ඌරු පට්ටි ඔවුන්ගේ අශූචි කමින් වසංගත රෝගවලින් ඔවුන් බේරාගත්හ. එහෙයින් ඌරා රැකගැනීමේ නීතියක් ආවේය. කුර ඇති සතුන් අතරින් වමාරා කන සතුන් පමණක් ආහාරයට ගතයුතුය යන නීතියට පදනම එයයි. යුදෙව්වන් සමග පොරොන්දු දේශයට යාමට පෙර මෝසස් මළේය. උඹලාට පොරොන්දු දේශය හමුවේවි. ඒ වගේම කවදා හරි උඹලාව ගලවාගන්න දෙවියන් වහන්සේ දූතයෙක් එවාවියි මෝසස් මැරෙන්නට පෙර යුදෙව්වන්ට කීවේය.

යුදෙව්වෝ අවසානයේ පොරොන්දු දේශයට ආවෝය. ඒ ඊශ‍්‍රායලයයි. කාලයකට පසු ඊශ‍්‍රායලයේ යේසුස් වහන්සේ උපන්නේය. යේසුස් වහන්සේට ඇණගැසූ පසු යේසුස් යනු මෝසස් කියූ යොහෝවාගේ දූතයා හෙවත් පුත‍්‍රයා බව කියමින් සෙන්ට් පෝල් නැමැත්තා යේසුස් වහන්සේගේ කණ්ඩායමේ නව නායකත්වය හිමිකරගත්තේය. එසේ කතෝලික ආගම බිහිවිය. කතෝලිකයන්ට තවදුරටත් ඌරාගේ කසල ශෝධක සේවය අවශ්‍ය නොවීය. එහෙයින් පසුකාලයකදී ඌරා කතෝලිකයන්ගේ හොඳ ආහාරයක් බවට පත් විය.
යේසුස් වහන්සේගේ කාලයෙන් වසර 500කට පමණ පසු ඉපදී අනාථයකු ලෙස හැදුණු මොහොමඩ්තුමා කතෝලික වැන්දඹුවක හා විවාහවී සිටියේය. තවලම්කරුවන්ට එකතුවී සිටි එතුමා, මදීනා නගරයේ සිටි යුදෙව් හමුදාවක සහය ලබාගෙන මක්කමට පහරදී බලය අල්ලාගත්තේය. යුදෙව් ආශ‍්‍රය නිසා මොහොමඩ්තුමා කුරානය නිර්මාණයේදී යුදෙව්වන්ගේ බයිබලයෙන් ප‍්‍රයෝජන ගත්තේය. යුදෙව් බයිබලයේ නීතිවලින් කුරානය පිරී තියෙන්නේත් යුදෙව්, කතෝලික, ඉස්ලාම් නීති අතර ඇතැම් තැනක සමානකම් තියෙන්නේත් මේ හේතු නිසාය.

මේ ඉතිහාස කතාව හිතන්නට කරුණු කීපයක් අප හමුවේ තබයි. ශිෂ්ටාචාරයන් වෙනස් වන විට මිනිස්සුගේ අවශ්‍යතා වෙනස් වෙයි. විද්‍යාව හා තාක්ෂණය වෙනස් වෙයි. එවිට නීතිරීති ආදියද වෙනස් වෙයි. යුදෙව්වන්ට කෑමට තහනම් ඌරා කතෝලිකයන්ගේ හොඳ ආහාරයක් බවට පත්වෙයි. ඉස්ලාම් නීතියට අනුව මධ්‍යසාර පාවිච්චිය ඔවුන්ට තහනම්ය. එහෙත් බේකරි නිෂ්පාදන, සෝයා නිෂ්පාදන ආදියේ නිෂ්පාදන ක‍්‍රියාවේදී කිසියම් මධ්‍යසාර ප‍්‍රතිශතයක් නිර්මාණය වේ. ඉස්ලාමිකයන් බෙහෙවින් ප‍්‍රියකරන ජෙලිවර්ග, මාස්මෙලෝස්, පැණිරස කෑම නිෂ්පාදනයේදී ඌරුතෙල් යෙදා ගැනේ. කේක් වැනි රසආහාර නිපදවීමේදී ඇතැම් විට මධ්‍යසාර එක්කෙරෙන අතර බොහෝ කල්තබාගැනීමේ හා රසගැන්වීමේ කටයුතු සඳහා පාවිච්චි කරන අමුද්‍රව්‍යවල මධ්‍යසාර අඩංගුවේ. ඒවා නැවැත්වීමට මොනම දෙවියෙකුටවත් නොහැකිය.

අනෙක් අතට අපේ රටේද සිදුවන පරිදි ලෝව පුරාම මස් සඳහා සතුන් මැරීම බොහෝ ස්ථානවල සිදුකෙරේ. ඒවා ගම්මානයන්හි මස්කඩවල අලෙවි කරති. මේ ස්ථානවල සතුන් මරන්නේ කුරානයේ ඇති ක‍්‍රමයට යයි කිසිවකුට සහතිකයක් දිය නොහැකිය. ඒවායේ ‘හලාල්’ සහතික අලවාද නැත. නමුත් බොහෝ මුස්ලිම් ජාතිකයෝ එබඳු තැන්වලින් මස් ගෙන බුදිති.

එම නිසා ඉස්ලාම් බැතිමතුන් හලාල් කෑම සොයා පිස්සුවැටිය යුතු නැත. ඔවුන්ට බඩගින්න නිවාගැනීමට මොනවා හෝ කෑමේ අයිතිය කුරානයෙන් ලබාදී ඇති බැවිනි. හැකි හැම විටම නිවසේදී හලාල් කෑම හදාගෙන කෑමටත් අනෙක් අවස්ථාවල ඌරු මස් ආදියෙන් වැළකී සුදුසු කෑමක් මගින් බඩගින්න නිවාගැනීමටත් ඔවුන්ට හැකියාව තිබේ.

එසේ නම් ලෝකය පුරාම ‘හලාල්’ ප‍්‍රශ්නයක් ඇතිවී තිබෙන්නේ ඇයි? මීට හේතු කීපයකි. එකක් මුස්ලිම් බැතිමතුන් කුරානයේ නීතිරීතිවලටම අනුව පාලනය කිරීම මගින් ඔවුන්ට තමන්ට අවශ්‍ය ආකාරයට මෙහෙවීමට හැකි බව දන්නා ආගමික නායකයන්ගේ උග‍්‍ර මූලධර්මවාදී වැඩපිළිවෙළයි. පොතේ නීතියට වහල්කරගත් විට ආගමේ නාමයෙන් මිනිසුන්  ඕනෑ ඕනෑ ආකාරයට හැසිරවීමට හැකි බව පූජක පැලැන්තිය දනී.

මුල් කාලයේ කොහේවත් ‘හලාල්’ ලේබල් ගැසූ ආහාර විකිණීමට නොතිබුණි. ‘හලාල්’ ලේබලයෙන් ආහාර පාන අලෙවිය ඇරඹෙන්නේ පසුකාලයකදීය. ඇතැම් මුස්ලිම් සංවිධාන කියන පරිදි විදේශවලින් මාංශ නිෂ්පාදන මුස්ලිම් රටවලට එන්නට පටන්ගත් පසු 70-90 දශක අතර කාලයේ හලාල් සහතික නිකුත් කිරීමේ ක‍්‍රමය ඇරඹී ඇත. මධ්‍යස්ථව කල්පනා කරන විට මුස්ලිම් රටවලට තෙල් සල්ලි ලැබී එම රටවල් හොඳ වෙළඳපොලක් බවට පත්වීම මෙයට බෙහෙවින් ඉවහල්වන්නට ඇතැයි සිතේ. මැදපෙරදිග කලාපය බටහිර රටවලත් ඇමරිකාවේත් හොඳ වෙළඳපළක් වන්නට පෙර මැදපෙරදිගට මස් සැපයීම සෝමාලියාව, ඉතියෝපියාව බඳු රටවලින් සිදුකෙරුණි. එම වෙළඳාම අප‍්‍රිකානු රටවලින් උදුරාගන්නට ඇමරිකානු හා යුරෝපා වෙළෙන්දෝ සමත්වූහ. සෝමාලියාව, ඉතියෝපියාව වැනි රටවල ආර්ථිකය කඩාවැටී හිඟන රටවල් බවට පත්වීමට හේතුව ඇත්තේද මේ ක‍්‍රියාවලිය පසුපසය. ව්‍යාපාරිකයන් තම නිෂ්පාදන ‘හලාල්’ කියමින් මුස්ලිමුන්ට විකිණීමත් ඉස්ලාම් නායකයන් එය ප‍්‍රයෝජනයට ගනිමින් ‘හලාල්’ සහතික නිකුත් කිරීමේ සංවිධාන ඇරඹීමත් ක‍්‍රමානුකූලව පියවරෙන් පියවර සිදුවන්නට ඇතැයි සිතිය හැකිය. (මතු සම්බන්ධයි)

Thursday, December 20, 2012

ශී‍්‍ර ලාංකන් ගුවන් සේවය හරහා ඉස්ලාම් උගුලට අසුවුණු තෙරුවන සහ පංචශීලය



ඊයේ පෙරේදා අපේ රටේ ගුවන් සේවයට වසර 100ක් පිරුණි. ඒ නිමිත්තෙන් රූපවාහිනී වැඩසටහනක් ප‍්‍රචාරය කෙරුණි. එහිදී ‘එයාර් සිලෝන්’ කාලයේ ගුවන්යානාවල රූපරාමු කීපයක්ද ප‍්‍රදර්ශනය කෙරුණි. ඒ අතරින් එක් ගුවන් යානයක ‘විහාර මහා දේවි’ යන නම සඳහන් කර තිබෙනවා දැක්කෙමි. ‘එයාර් ලංකා’ යුගයේ ගුවන් යානාවල අපේ රජවරුන්ගේ නම් කොටා තිබුණු බවත් ඇනකොන්ඩාට මතකය. සත්‍යයේ ගීත ගැයූ නන්දා මාලිනී ‘මේ සිංහල අපගෙ රටයි සින්දුව කීම ප‍්‍රතික්ෂේප කරන මේ කාලයේ මෙබඳු ‘ජාතිවාදීන්ගේ’ නම් අපේ රටේ දේපළවලට යොදන්නට ඉදිරිපත් වන ‘පිස්සන්’ හොයාගන්නට ඉතා අසීරුය. මේ සටහන ඒ ගැන නොවේ. ‘එයාර් ලංකාවත්’ සමග සෝදා හැරිය ඊටත් වඩා වැදගත් දෙයක් ගැන කියන්නටයි.

මේ අපේ ගුවන් සේවය ඉස්ලාම්කරණය වෙන්නට පෙර තිබුණු ලාංඡනයයි.  ඕනෑම ආයතනයක වේවා භාණ්ඩයක වේවා සේවාවක වේවා ලාංඡනය ඉතා වැදගත් තැනක් ගනියි. බොහෝ විට ඉතා හොඳින් සැලසුම් කරන ලද ලාංඡනයක ආයතනයේ වේවා භාණ්ඩයේ වේවා සේවාවේ වේවා පවුරු පදනම් සියල්ල ඇතුළත් වේ. උදාහරණයක් ලෙද ජාතික කොඩි හැඳින්විය හැකිය. ජාතික කොඩියකින් එම රටේ දර්ශනය, දැක්ම මුළු ලොවටම නිහඬව ප‍්‍රදර්ශනය කෙරේ. මේ ආකාරයෙන් හැම ලාංඡනයකින්ම පාහේ ලෝකයට කියාපාන අර්ථකථනයක් තිබේ. 
එයාර් ලංකා ලාංඡනයේත් එබඳු මහා අර්ථකථනයක් තිබුණි. මෙහි ඇත්තේ කුරුල්ලෙක් බඳු රුවකි. එක් අතකින් එයින් පැරණි රාවණා යුගයේ තිබුණා යැයි කියන ගුවන් යානා පිළිබඳ ඉඟියක් කෙරේ. මෙහි වැදගත්කම එය නොවේ. කුරුලූ හිස බඳු කොටසේ ‘පිල්’ තුනක් පැහැදිලිව දැකගත හැකිය. එයින් නිරූපණය කෙරුණේ තෙරුවනයි. පියාපත් බඳු කොටසේ ‘පිල්’ පහකි. ඒ පන්සිල් හැඳින්වීම පිණිසය. මෙයින් අර්ථවත් කෙරුණේ කුමක්ද? ”අපි ලෝකයට තෙරුවනත් පන්සිලූත් බෙදමු”, ”බුදු දහම ලොව පුරා බෙදමු” එයාර් ලංකා ලාංඡනයෙන් පැවසුණු දැක්ම එයයි.

ථෙරවාදි බෞද්ධයකු බව කියාගන්නා නමුදු සිංහල බෞද්ධකම පිච්චියකට නොසලකන බවට ප‍්‍රචලිත චන්ද්‍රිකාගේ යුගයේදී එක්සත් අරාබි එමිර් ‘ඉස්ලාම්’ රාජ්‍යය, ‘එයාර් ලංකා’ ආයතනයේ කොටස් 40%ක් මිලදී ගෙන එය පූර්ණ ‘ප‍්‍රතිසංවිධානයකට’ ලක්කළේය. (පසුව ඔවුන්ගේ කොටස් ප‍්‍රමාණ්‍ය 43 ඉක්මවීය) එයාර් ලංකා නම ශ‍්‍රී ලාංකන් එයාර් ලයින්ස් බවට පරිවර්තනය විය. තෙරුවන සහ පංචශීලය රැගත් ලාංඡනය මකා තටු කැඩී පොළොවට කඩාවැටෙන කුරුල්ලෙකු සිහිපත් කරවන ලාංඡනයක් හඳුන්වාදෙන ලදී. එමන්ම ‘පාරාදීසයක සුවය’ රැගත් අපේ ගුවන් සේවයේ කීර්තිය විනාශ වී ගුවන් සේවය වළපල්ලට ගිය බවද දන්නෝ දනිති. අන්තිමේ ඉස්ලාම් මුදලාලිගෙන් ගුවන් සේවය බේරාගන්නට ඔවුන්ට විකිණූ කොටස් ආපසු ගන්නට සිදු විය. නමුත් අපේ ගුවන් සේවයෙන් ගිලිහුණු කීර්තිය නැවත දිනාගැනීමට තවමත් නොහැකිවී තිබේ. ලොව පුරා බෙදා හළ තෙරුවනේ සහ පංචශීලයේ පණිවිඩය ඇතුළත් දැක්මද අපේ ගුවන් සේවයෙන් හැලීගොස් තිබේ.
මෙබඳු කාරණා පිළිබඳව අපේ රටේ අදාළ අංශවල මොනම බලධාරියෙකුගේවත් අවධානය යොමුවී තිබේද යන්න නොදනිමි. ආගමික ආක‍්‍රමණ පිළිබඳ අපේ ඇත්තන් දැනගන්නා කාලය වන විට කරන්නට දෙයක් ඉතිරිවී නොතිබෙනු නොඅනුමානය.

ලබන වසරේදී අපේ ගුවන් සේවය වන්වර්ල්ඩ් ගුවන් සේවාව හා එක්වීමට නියමත බව මෑතකදී නිවේදනය කෙරුණි. එවිට තව මොනමොන දේ හැලෙනු ඇත්දැයි නොදනිමු. එමිරේට්ස් උගුලෙන් ගැලවී ඇති නිසා අලූත් කොන්ත‍්‍රාත්කාරයා සමග එක්වන විට පරණ ලාංඡනය නැවත එක්කිරීමට හැකිදැයි සොයාබලන මෙන් වගකිවයුත්තන්ගෙන් ඉල්ලමි.

Friday, December 14, 2012

අපේ ගොවි පරපුර වැනසීමේ කොන්ත‍්‍රාත්තුවට ශ‍්‍රියන්ත මෙන්ඩිස් ඇතුළු කලාකරුවෝ කරගසති.


ගොවිතැන අපේ ශිෂ්ටාචාරයේ හදවත වූයේය. අපේ ගොවියන්ගේ හපන්කම් පැහැදිලි කරන සාක්ෂි බොහොමක් තිබේ. එයින් කිහිපයක් පමණක් මෙහි දක්වමු. පැරණි ඉරාන සාහිත්‍යයේ පවා සිංහල හාලේ රස ගැන කියවෙන ස්ථාන තිබේ. සිංහල හාල් යන්න විදේශීය වෙළඳුන් නිපදවූ නමකි. සිංහලයින්ට නොයෙක් සහල් වර්ග තිබුණි. ඉංග‍්‍රීසින් රටෙන් පිටව යද්දීත්  බිත්තර වී වර්ග සියයකට වඩා තිබිණි. ඒ සියල්ල වඳකිරීම ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය (අයිආර්ආර්අයි) නැමති ජාත්‍යන්තර ආයතනයේ කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයකි. මෙහි ආසියානු මූලස්ථානය පිලිපීනයේ පිහිටා ඇත.

යුරෝපීන් කඩා වැදුණු ලංකාව සහලින් ස්වයංපෝෂිත වී පැවතුන රටක් විය. පරංගියා ගොවිතැන විනාශ කිරීම ඇරඹීය. ඒ මාදම්පේ මහයායවල් විනාශ කිරීම මගිනි. ලන්දේසි ඇල කපමින් මුතුරාජවෙල වැනි මහ යායවල් පුරං කරන ලදී. රොබට් බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගේ කාලයේ  ඌව වෙල්ලස්ස ජනශුන්‍ය කරමින් ජලසම්පාදන පද්ධති විනාශ කරමින් ගොවිපරපුරු වැනසූ හැටි ඉතිහාසය දන්නා කවුරුත් පාහේ දන්නා සිද්ධින් රැසකි.

හරිත විප්ලවය නැමැති කුමන්ත‍්‍රණයෙන් ලංකාවේ ගොවිපරපුරේ බිම් අයිතිය අහෝසි කරන ලදී. දැන්  මෙම උපක‍්‍රමය එළවලූ, පලතුරු ඇතුළු අපේ අනෙකුත් වගාවන් කෙරේද යොමුව තිබේ. මෙහි මූළික වෙන්නේ මොන්සැන්ටෝ නම් ලෝකයේ ප‍්‍රධානම සමාගමයි. ඔවුන්ගේ ඒජනත්වරු වශයෙන් කටයුතු කරන වෙනත් සමාගම් මේ වන විටත් අපේ පැරණි ගොවිතැන බරපතල ලෙස විනාශ කරදමා ඇත. අපේ සාම්ප‍්‍රදායික, වැටකොළු, පතෝල, කැකිරි, පිපිඤ්ඤා, වට්ටක්කා, මෑ, මුංඇට, ගස්ලබු ආදිය පසුගිය කාලයේ ඉතා වේගයෙන් අතුරුදහන්ව ගොසිනි. ඒ වෙනුවට ලොකුවට හැදෙන, රසායනික පොහොර හා පිළිබෝධ නාශක බහුල වශයෙන් යෙදිය යුතු බෝග වර්ග වේගයෙන් පැතිරී ඇත. ජාන විකෘති කළ එළවලූ පළතුරු කෑම සිරුරට අහිතකරය. මේ බොහෝ බෝගවල හටගන්නා ගෙඩි, කරල්වල ඇට පැළකළද ඒවායින් ඵලදාවක් ලැබිය නොහැක. ඊට හේතුව ඒවායේ ජාන ශත්කිය විනාශ කර තිබීමයි. ජාන බලය නැති ඇට පැලවුනද ඒවාට ලෙඩ හැදේ.

මේ නිසා බොහෝ ගොවියන්ට කන්නයෙන් කන්නයට ඇටයේ පටන් පොහොර, කෘමිනාශක, වල්නාශක, ආදි සියල්ලම මුදලට ගැනීමට සිදුවී තිබේ. මේ සියල්ල මුදලට විකුණන්නේ මොන්සැන්ටෝ බඳු ආයතනවල අතවැසි කොම්පැණි කීපයක් විසිනි. බිත්තර වී හා ඇට, පැළ නිපදවන පුද්ගලයන් හා කුඩා ආයතන තිබුණද ඒ සුළුවශයෙනි. බීජ වෙළඳාම ලෝකයේ අංක එකේ ආදායම් මාර්ගයකි. ලෝකයේ බඩගිනි නිවන්නට ආහාර අවශ්‍යය. ආහාර නිපදවීමට බීජ අවශ්‍යය. කන්නයෙන් කන්නයට බීජ මිලදී ගැනීමට සිදුවූ විට බීජ විකිණීමෙන් විශාල ලෙස මුදල් ඉපයිය හැකිය. බීජවල පේටන්ට් අයිතිය හිමිකරගත් විට ගසාකෑමට හැකි මුදල ඉතා ඉහළ යයි. (කොලට් සේනානායක සහ නාරද කරුණාතිලක දෙදෙනා විසින් රචනා කරන ලද ‘අල්ලාහු අක්බර්’ පොත කියවීමෙන් පිළිබඳව වැඩිදුර අවබෝධයක් ලැබිය හැකිය)

කලකට ඉහතදී පටන් රටට ආදරය කරන යම් යම් පුද්ගලයන් හා කණ්ඩායම් මේ ව්‍යසනය පිළිබඳව රටට කරුණු ඉදිරිපත් කිරීම සැනසිල්ලට කරුණකි. ඔවුන්ගේ මැදිහත්වීමෙන් අසීරුවෙන් බෝකරමින් පවත්වාගෙන එන අපේ සාම්ප‍්‍රදායික බෝගවර්ගවලට මේ කාලයේ හොඳ ඉල්ලූමක්ද ඇතිවෙමින් පවතී. ඒ බටහිරුන් හඳුන්වාදුන් ආක‍්‍රමණකාරී ගොවිතැනින් ලැබෙන බෝග නිසා මිනිසුන් අතර වකුගඩු අබාධ, දියවැඩියාව, හෘදයාබාධ වැනි රෝග සෑදෙන බවට හෙළිදරව් වීමත් සමගිනි. මේ නිසා ගොවීන්ද යම් මට්ටමකින් කාබනික ගොවිතැන කෙරෙහි නැඹුරුවන්නට පටන්ගෙන ඇති බව පෙනේ.

ගොවියන් අතර අපේ බිත්තර වී සහ වෙනත් සාම්ප‍්‍රදායික ඇට වර්ගත් තිබීම කොම්පැණිකාරයන්ගේ නොසතුටට හේතුවකි. එම නිසා ඔවුන්ගේ ඒජන්තයෝ ආණ්ඩු ලවා බීජ පනතක් ගෙන ඒමට විශාල උත්සාහයක නිරතවෙමින් සිටිති. ඒ බීජ පනත සම්මත වූ දායින් පසු ගොවියන්ට බිත්තර වී හෝ ඇට වර්ග විකිණීමට ඇති අයිතිය අහිමි වනු ඇත. ඒ අයිතිය කොම්පැණිකාරයන්ට පමණක් හිමිවනු ඇත.

මෙබඳු කරුණු නිසා අපේ ගොවීන් බිලීබාගැනීමට කොම්පැණිකාරයන් අතර ඇති තරගය වඩාත් දැඩිවී තිබේ. මේ තරගකරුවන් අතර ඉතා බලසම්පන්න තරගකරුවා වී ඇත්තේ සීඅයිසී සමාගමයි. අපේ බීජවර්ගවල සහ බෝගවල අයිතිකරුවාවීමත්, ගොවියන්ගේ ප‍්‍රබලතම සැපයුම්කරුවා වීමත් ඔවුන්ගේ ඉලක්කයයි. 

සීඅයිසී යන්නේ තේරුම කෙමිකල් ඉන්ඩස්ටී‍්‍රස් ඔෆ් සිලෝන් යන්නයි. එනම් ලංකා රසායනික සමාගම යන්නයි. ඔවුන් දැන් කරන්නේ රසායනික වෙළඳාමක් නොවේ. දේශීය වෛද්‍ය ඖෂධයක් වූ ‘සමහන්‘ වල අයිතිය මිලදී ගැනීම, යෝගට්, මස්, දේශීය සහල් ආදිය අලෙවිය මගින් සීඅයිසී බූවල්ලා කොතරම් දුරට  සිය අඩු විහිදා ඇත්දැයි හිතාගත හැකිය.

දේශීය බීජ වර්ගවල අයිතිය ලබාගැනීම, දේශීය බෝගවර්ග අලෙවිය, ගොවීන්ට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය සහ යන්ත‍්‍ර සැපයීම ආදි සියලූ අංශවල අධිකාරිත්වය තමන්ට හිමිකරගැනීමේ උපක‍්‍රමයක් වශයෙන් සීඅයිසී සමාගම විශාල ප‍්‍රචාරක ව්‍යාපාරයක් කාලයක පටන් දියත් කර තිබේ. මේ කුමන්ත‍්‍රණයේ බළල් අණ්ඩ වශයෙන් පළමුවෙන්ම බිලිබාගන්නා ලද්දේ වසන්ත දුක්ගන්නාරාල නමැත්තාවය. 

ඔහු පාරවල් අයිනේ බෝඩ්ලෑලිවල කටබලියාගෙන සීඅයිසී කොම්පැණියට හුරේ දමමින් ඉන්නා හැටි දකින ඇනකොන්ඩාට දුක හිතෙයි. ඔහු අපේ ගොවියන් විනාශ කිරීමේ කොන්ත‍්‍රාත්තුව කරට අරගෙන වැඩ කරන නිසා ඇනකොන්ඩාට ඔහුව පෙනෙන්නේ දුක්ගන්නනරාල කෙනකු වශයෙනි. මේ දුක්ගන්නනරාල දැන් තවත් නළුනිළියන් පිරිසක් ගොවියන් වැනසීමේ ව්‍යාපෘතියට එකතුකරගන්නට සමත්වී සිටි. ඒ සීඅයිසී සමාගමේ ප‍්‍රචාරක උගුලක් වන ‘ශූර ගොවියා’ තරගය හරහා අපේ ගොවිපරපුර සීඅයිසී කොම්පැණියේ දංගෙඩියට දැක්කීමේ කොන්ත‍්‍රාත්තු බාරදීමෙනි. මේ අනුව රජරට ගොවිපරපුර නැසීමේ කාරිය ශ‍්‍රියන්ත මෙන්ඩිස්ට පවරා ඇත. නිරෝෂා විරාජිනී, කේ. සුජීවා, මහේන්ද්‍ර පෙරේරා, ගයාන් වික‍්‍රමතිලක, සුරාජ් මාපා, නිල්මිණි තෙන්නකෝන්, දමිතා අබේරත්න වධක තනතුරුවලින් සම්මාදම් සපයන අනෙක් පිරිසයි.

ශ‍්‍රියන්ත මෙන්ඩිස් පුවත්පතකට මෙසේ කියා තිබුණි. ”මේ ගැන හා හා පුරාම දුකා (වසන්ත දුක්ගන්නාරාළ) කියනකොට මට හරි සතුටක් දැනුනා තරුණ පරම්පරාව ගොවිතැනට නැඹුරු කරන මෙවැනි තරගයට විශාල ප‍්‍රදේශයක් නියෝජනය කරමින් කලාප නායකයෙක් වශයෙන් කටයුතු කරන්නට අවස්තාවක් ලැබීම ගැන. ඒ ගැන සියුම් ආඩම්බරයක් මට දැනෙනවා.”

ශ‍්‍රියන්ත මෙන්ඩිස්ගේ කතාව අහන විට ඇනකොන්ඩාට දුක හිතේ. ශ‍්‍රියන්ත ඔබ ඇතුළු පිරිස මේ හදන්නේ තරුණ පරම්පරාව ගොවිතැනට නැඹුරු කරවන්නට නොවේ. ගොවිපරම්පරා කොම්පැණිකාරයන්ගේ වහලූන් බවට පත්කර අපේ ගොවිතැන විනාශකර අපේ බෝගවල අයිතිය කොම්පැණිකාරයන්ට පාවාදීමේ මහා පාපකර්මයට කරගසන්නටය. මෙයින් ඔබට ලොකු මුදලකුත් කීර්තියකුත් ලැබෙනු ඇත. එහෙත් ඒ කිසිවකින් ඔබේ හෘද සාක්ෂියට උත්තර බඳින්නට ඔබට නොහැකි වනු ඇත. ඔබේ හිතවත් නළුනිළි පිරිසටද එසේම වනු ඇති. ඒ ඔබ ඇතුලූ පිරිස මේ කරන්නට හදන්නේ කුමක්දැයි ඇනකොන්ඩා මෙයින් ඔබට තේරුම් කරදී ඇති හෙයිනි.

ඇමරිකාව හා බටහිර රටවල කලාකරුවන්, ගායකගායිකාවන් ආදීහු සිය නිර්මාණ මගින් සොබාදහම, පරිසරය රැකගන්නට පුදුමාකාර වෙහෙසක් දරති. හොඳම උදාහරණය මයිකල් ජැක්සන්ය. මෙබඳු කරුණු විෂයෙහි ඔහු සමාජයට කර ඇති මෙහෙවර දැවැන්තය. කරුමයක මහත. අපේ කලාකරුවෝ කීර්තියත් මුදලත් මෝඩකමත් නිසා තම රටට ජනතාවට හතුරුකම් කරති. රටේ ඉතා ජනප‍්‍රිය ශ‍්‍රියන්ත මෙන්ඩිස්, මහේන්ද්‍ර පෙරේරා, සුරාජ් මාපා, දමිතා අබේරත්න, නිල්මිණි තෙන්නකෝන්, නිරෝෂා විරාජිනී ගොන් පස් අල්ලමින් කොම්පැණිකාරයන් පස්සේ වැටීම පුදුම අවාසනාවකි. කිසියම් දිනෙක ඔවුන්ගේම මතු පරම්පරා ශ‍්‍රියන්තලාගේ දෙමාපියන් සිහිකරනු වැළැක්විය හැක්කේ ඔවුන්ටම පමණි. ඇනකොන්ඩා මේ කරන්නේ ඊට මගපාදාදීමකි.

පහත දැක්වෙන්නේ ඇමරිකාවේ මොන්සැන්ටෝ සමාගමට එරෙහිව නිර්මාණය කරන ලද ගීතයකි. එය නැරඹීමෙන් වත් අපේ කලාකාරයන්ට මොළේ බිඳක් පෑදේවා. 




කරනවනම් මෙන්න වැඩ

Tuesday, December 11, 2012

පණ්ඩිත් අමරදේවගේ කන මිරිකූ හෙළයේ සැබෑ ගාන්ධර්වයා: උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමි



මේ සටහන ලියන අද (2012 දෙසැම්බර 5) උදෑසන කුමක්දෝ ගුවන්විදුලි සේවාවකට දුරකතනයෙන් සම්බන්ධවූ කුඩා දරුවකු හෙළයේ මහාගාන්ධර්වයා වශයෙන් හඳුන්වන පණ්ඩිත් අමරදේවයන්ගේ 85 වැනි උපන්දිනයට සුබපතා ඔහු වෙනුවෙන්ම රචිත කවියක් ගායනා කරනු අල්ලපු ගෙදර පැත්තෙන් ඇසුණි. 

අපේ මුළු රටම මෙරට උපන් විශිෂ්ටතම සංගීතඥයා හැටියට හඳුන්වන්නේ පණ්ඩිත් අමරදේවයන්ය. ඒ බව සියල්ලෝම ගිරා පෝතකයන් සේ දොඩවති. පාසල් දරුවෝ එය වනපොත් කරමින් පරපුරෙන් පරපුරට ඉදිරියට ගෙනයති. අමරදේව ඇගයීමට ලක් කළ යුතු සංගීතවේදියකු බව ඇත්තකි. එහෙත් මේ රටේ මෑත ඉතිහාසයේ උපන් උසස්ම සංගීතඥයා නොතකා හැර, ඔහු පිළිබඳව වචනයක් හෝ සඳහන් නොකර, ඔහුට අලගු තැබීමට වත් නොහැකි අමරදේව පිම්බීම බරපතල වරදකි.

හෙළයේ මහා ගාන්ධර්වයා යැයි කටපුරා කිව හැකි උස්තාද් පදවියකින් පිදුම් ලත් එකම සිංහලයා වූ ඬේවිඞ් පොඩිඅප්පුහාමි පිළිබඳව ඇනකොන්ඩාට අසන්නට ලැබුණේ 70 දශකයේදී ඇනකොන්ඩාගේ සංගීත ගුරුතුමාගෙනි.

‘උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමිගෙ  සන්දර්ශනයක් තියෙනව ටවුන්හෝල් එකේ. අනිවාර්යයෙන්ම බලන්ඩ යන්ඩ  ඕනැ. ගිහින් බලනවල කොහොමද බෝ එක අල්ලන්නෙ, කොහොමද වයලින් එකේ ඇඟිලි දුවන්නෙ, කොහොමද කිසි කිසි ගාල තබ්ලාව ගහන්නෙ කියල.’ සංගීත ගුරුතුමා කීවේය.

ඇනකොන්ඩා සහ මිතුරෝ උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමිගේ සංගීත ප‍්‍රසංගය නැරඹීමට ගියෝය. ඔහුගේ වාදන හැකියා දුටු අපි විස්මයට පත්වීමු. ඔහුගේ අත් ක‍්‍රියාත්මක වූයේ විදුලි වේගයෙනි. කුඩා අපට ඔහුගේ ශිල්ප දැක්වීම වසර ගණනාවක කතාබහට මාතෘකාවක් විය.

ඉන්පසු ඇනකොන්ඩාට ඬේවිඞ් පොඩිඅප්පුහාමි චරිතය වරින් වර සිහිපත් වුවද ඔහු පිළිබඳ ආරංචි මාත‍්‍රයක් හෝ දැනගන්නට ලැබුණේ නැත. සංගීත විශාරදයන් සහභාගි වන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සාකච්ඡා, පුවත්පත් ලිපි, අපේ සංගීතඥයන් පිළිබඳ පොතපත ආදී මේ කිසිවකින් උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමි පිළිබඳව අසන්නට දකින්නට නොලැබුණි. අහම්බෙන් ඇනකොන්ඩාට මුණගැසුණු මිතුරෙකුගේ මාර්ගයෙන් මේ මහා ගාන්ධර්වයා පිළිබඳ තොරතුරු ටිකක් දැනගන්නට ලැබුණි. මිතුරාට තොරතුරු ලැබී ඇත්තේ මාධ්‍යවේදී පේ‍්‍රමසිරි වැවේගෙදරගෙනි. 

උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමි ඉපදී ඇත්තේ කුලියාපිටිය ප‍්‍රදේශයේය. කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු මැටි‍්‍රකියුලේෂන් විභාගයට පෙනීසිටිම සඳහා එංගලන්තයට ගියේය. භාරතීය සංගීතය පිළිබඳව පැහැදුණු ඔහු ශාන්ති නිකේතනයට ගොස් විශ්ව භාරතී සංගීත පීඨයට බැඳුණි. එහිදී හෙතෙම සිතාරය, තබ්ලාව වාදනයත් ගායනය හා නර්තනයත් හැදෑරුවේය. සමකාලීන සිසුන් අතර සුපිරි තරුව වූ ඔහු පස් වසරක පාඨමාලාව වසර හතරකින් නිමකරමින් සිය හැකියාව ප‍්‍රදර්ශනය කළේය.

පොඩිඅප්පුහාමිගේ හැකියාවන් - විශේෂයෙන්ම තබ්ලා වාදනයෙහි සූරත්වය - දුටු අලවුදීන් ඛාන් , පොඩිඅප්පුහාමි විශ්ව භාරතියෙහි මහාචාර්ය පදවියකට පත් කළේය. දිනකට පැය 16 බැගින් අලවුදීන් ඛාන් යටතේ සංගීතය හැදෑරූ පොඩිඅප්පුහාමි කාලයක් විශ්ව භාරතී සංගීත පීඨයේ විදුහල්පති තනතුරද හෙබවීය. බටනලාව, සරෝදය හා තබ්ලාව වාදනයේත් කතක් නර්තනයෙත් ඔහු පෑ සමත්කම් අනභිබවනීය විණි. 

ඉන්දියාවේ සංගීත ක්ෂේත‍්‍රයේ ජය කෙහෙළි නැංවූ ඔහු වරක්  ඕස්ටේ‍්‍රලියාවෙන් පිරිනැමුණු ආචාර්ය පදවියක් අළුයම ලූ කෙළපිඩක් සේ ඉවතලීමට තරම් නිහතමානි වූයේය. පොඩිඅප්පුහාමිගේ සංගීත ඥානය කෙතරම්ද යත් ඔහු භාරතීය සංගීතයට රාග දෙකක් නිර්මාණය කිරීමට තරම් හපනෙක් වූ බව පැවසේ. බෝපාල්, දිල්ලි ආදි ගුවන්විදුලි සේවා ගණනාවක සංගීත ශිල්පීන් වර්ගීකරණය කිරීමේ කමිටුවලට නායකත්වය දෙන්නට තරම් හෙතෙම විශිෂ්ටයකු විණි. ඉන්දියාවේ සංගීත ක්ෂේත‍්‍රයේ ඔහු දරා ඇති තනතුරු එකක් දෙකක් නොවේ. බොහොමයකි.

ඉන්දියානු ජාතිකයන් පොඩිඅප්පුහාමි හඳුන්වා ඇත්තේ ‘සංගීතයේ දෙවියා’ යනුවෙනි. ඔහු නමට එන ලිපිවල ලිපිකවරයේ පවා එම ආමන්ත‍්‍රණය ඇති බව එම ලිපිකවර සියැසින් දුටු පේ‍්‍රමසිරි වැවේගෙදර පවසා තිබේ.
වරක් ඬේවිඞ් පොඩිඅප්පුහාමිට අමරදේව මුණගැසුණි. අමරදේව වයලීනයේ ‘බෝ එක’ අල්ලාගෙන සිටින අයුරු දුටු පොඩිඅප්පුහාමි, ‘ඔහොමද යකෝ බෝඑක අල්ලන්නෙ’යි අසමින් අමරදේවගේ කන මිරිකා ඇත. මේ අවස්ථාවේ එතන සිටි අය තවමත් ජීවත්වෙති.

ඬේවිඞ් පොඩිඅප්පුහාමි සංගීතවේදියා කලකට පෙර ඉන්දියාවේ මයිහාරයේදී අභාවප‍්‍රාප්ත විය. ඉන්දියානු කාන්තාවක හා විවාහ වූ ඔහුට පුත්තු දෙදෙනෙක් සිටිති. පේ‍්‍රමසිරි වැවේගෙදර මහත් කැපකිරීම් කර පොඩිඅප්පුහාමි සංගීතඥයා මියයන්නට පෙර ශ‍්‍රී ලංකාවට කැඳවාගෙන එන්නට උත්සාහ කර ඇතත් කාලකණ්ණි ඇන්ජීඕ කාරයකු නිසා ඒ උත්සාහය අසාර්ථක වී ඇත. මයිහාරයට ගොස් ඬේවිඞ් පොඩිඅප්පුහාමි මුණගැසුණු වැවේගෙදර ඔහු සම්බන්ධ රූපවාහිනී වාර්තා වැඩසටහනක් නිර්මාණය කළ බවත් එම නිර්මාණයේ වැදගත්කමක් දුටු කිසිවකු මාධ්‍ය ආයතනවල නොසිටි බවත් වාර්තා වේ. දැන් වැවේගෙදර සිය අත්දැකීම අළලා පොතක් ලියමින් සිටින්නේලූ. 

අපේ රටේ විශාරදලා, සංගීත මහාචාර්යලා, සංගීත් නිපුණ්ලා, පණ්ඩිත්ලා සිටිති. සංගීත් නිපුණ් සනත් නන්දසිරි වරක් පැවසූ පරිදි, ‘උස්තාද් කෙනෙකු වීම ආත්ම දෙකක් වත් ගත වන කාර්යයකි.’ ඇනකොන්ඩාගේ සංගීත ගුරුතුමා ඬේවිඞ් පොඩිඅප්පුහාමි ගැන දැන සිටියා නම් මේ පණ්ඩිත්ලා, නිපුණ්ලා නොදැන සිටින්නට හේතුවක් නැත. විජාතික බලවේගවල සුළුදියෙන් යැපෙමින් උන්ට කඹුරන අපේ උගතුන්ට ඇට්ටෑඹිකම් කරමින් හොරනෑ වයන ඊයේ පෙරේදා කලා ක්ෂේත‍්‍රවලට ආ සුකිරිබටිල්ලන් ගැන සති ගණන් කතාකරන මාධ්‍යකාරයන් බුරුතු පිටින් සිටියත් කිසිම මාධ්‍යයක උස්තාද් පොඩිඅප්පුහාමි ගැන නම් කතාබහක් නැත. පාසල් පොතක, විෂය නිර්දේශයක නැතිනම් වෙනත් පොතකපතක අපේ සංගීතඥයන්ගේ නම් ලැයිස්තුවේ උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමි ගැන සඳහනක් නැත. මේ රටේ උපන් එකම උස්තාද්වරයා ගැන කිසිම තැනක කිසිම සඳහනක් නැත. ඊට හේතු කීපයක් තිබේ.

උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමි, ‘අනේ මහත්තයෝ මං ගැන ප‍්‍රචාරයක් දෙන්න’ කියමින් විස්කි බෝතල් හෝ වෙනත් පඩුරු පාක්කුඩම් හෝ උස්සාගෙන මාධ්‍යකාරයන් පස්සේ බඩගා නැත.

තමතමන්ගේ හිතවතුන්ගේ පිටකහන්නටම සැදීපැහැදී සිටින මාධ්‍යකාරයන් උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමි ගැන කතාකර තම හිතවතුන් පල්ලම් බස්සවන්නට ඉදිරිපත් වෙතැයි බලාපොරොත්තු විය නොහැකිය. (හොඳ මාධ්‍යවේදීන් කීපදෙනෙකු සිටියත් ඔවුන් යටකරගන්නට අර දීනයෝ සමත්ව සිටිති.)

උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමිට ප‍්‍රචාරයක් දෙන්නැයි දේශපාලකයන් නියෝග කරන්නට ඉඩක් නැත්තේ ඔහු කිසිදු දේශපාලකයකුට පන්දම් අල්ලා නැති බැවිනි.

ගුරුවරයාගේ ගුණ වයා තම ප‍්‍රතිරූපය පුම්බාගන්නට හපන් අද කාලයේ ගෝලයන් බඳු ගෝලයකු උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමි මේ රටේ බිහිකර නැත. එම නිසා වසරක් පාසා උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමි සමරු සන්දර්ශන, පුවත්පත් හා මාධ්‍ය හරඹ ආදිය මෙහි පැවැත්වීමට ඉඩක් නැත.

ඬේවිඞ් පොඩිඅප්පුහාමි උස්තාද් තනතුරක් ලබා ඇතැයි කියා තමන්ගේ හුළං බස්සවාගැනීමට අපේ මොනම පණ්ඩිත් කෙනකුවත් නිපුණ් කෙනකුවත් මහාචාර්ය කෙනෙකුවත් ඉදිරිපත් වෙතැයි සිතිය නොහැකිය. 

එම නිසා උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමි ගාන්ධර්වයාට යුක්තිය ඉෂ්ට කළ හැක්කේ පේ‍්‍රමසිරි වැවේගෙදර ලියන පොතට පමණි. හැකි ඉක්මණින් එය ප‍්‍රසිද්ධ කෙරේවායි ප‍්‍රාර්ථනා කරමු. ඇනකොන්ඩාද උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමි පිළිබඳ ලැබෙන තොරතුරු ඉදිරියේදීත් පළකිරිමට සැදීපැහැදී සිටී.

Wednesday, December 5, 2012

දෙසැම්බර 21 දා ලෝකය විනාශ වෙන්නේ මෙහෙමයි.


මේ අවුරුද්දේ දෙසැම්බර 21 වෙනිදා ලෝක විනාශය සිදුවන බවට බොහෝ දෙනා කියති. සාමාන්‍ය ජනතාව, උගත්තු, පූජකවරු හා භික්ෂූන් වහන්සේලාද හරිහරියට මේ මාතෘකාව ගැන කතාකරති. දෙසැම්බර 21දා ලෝකය විනාශවන්නේ නම් බ්ලොග් පිටු ලියමින් කාලය කාදමන්නේ කුමටදැයි සිතා පසුගිය කාලය පුරාම ඇනකොන්ඩා හොඳහැටි කාබී විනෝදයෙන් ගත කළේය. නමුත් උණපුරුකේ දැම්මත් බලූවලිගේ ඇද අරින්ඩ බැහැයි කීවා සේ ඇනකොන්ඩාටද අහුමුළු හාරාඅවුස්සන්නේ නැතිව ඉන්නට නොහැකි හෙයින් මේ සිද්ධවෙන ලෝක විනාශය ගැන නොසොයා ඉන්නට බැරි විය. එසේ සොයාගත් තොරතුරු ලෝක විනාශයට පෙර ඇනකොන්ඩාගේ ආදරණීය සහෘදයන්ට වැමෑරීමෙන් කිසිදු වරදක් නොවන හෙයින් ලෝකය විනාශ වන හැටි කාටකාටත් දැනගැනීමට ඒ සොයාගත් තොරතුරු ටික මෙසේ ලියමි.

ලෝක විනාශය ගැන ඇනකොන්ඩාට මුලින්ම අසන්නට ලැබුණේ ඉතා කුඩා කාලයේ අම්මාගෙනි. අම්මා කී කතාවට අනුව ලෝක විනාශයට පෙර මුරුගසං වරුසාවක් වැටෙන බවත් එයින් බේරෙන පිරිස පමණක් බේරෙයි. මුරුගසං වැස්සට තෙමෙන පිරිසට එකිනෙකා මුවන්, ගෝනුන්, කොටියන්, සිංහයන්, නයින්, මුගටින් ආදි ලෙසින් පෙනෙන්නට වෙයි. ඉන් පසු ඔවුහු එකිනෙකා මරාගෙන කමින් විනාශයට පත් වෙති.

ලෝක විනාශය සිදුවන ආකාරය ගැන දැන් අපට අසන්නට ලැබෙන්නේ අම්මා කීවාට වඩා වෙනත් කරුණුය. ඒ මෙසේයි.

නිබිරු ගහලෝකය පොළවට කඩාවැටීම
X ග‍්‍රහලෝකය හෙවත් නිබිරු ගහලෝකය සොයාගැනීම’ ඉන් එකකි. 1976 වසරේදී සෙචරියා සිට්චින් (Zecharia Sitchin)  The 12th Planet  නමින් පොතක් පළ කළේය. එහි සඳහන් අන්දමට පෘථිවියේ මිනිසුන් බෝකර ඇත්තේ ක‍්‍රි.පූ. 13000ත් 450000ත් අතර කාලයේ පිටසක්වලින් පැමිණි ජීවීන් කණ්ඩායමක් විසිනි. ඔහු වැඩිදුරටත් පවසන්නේ පුරාණ සුමේරියන්වරුන් මේ නිබිරු ග‍්‍රහලෝකය සොයාගෙන තිබුණු බවයි. 

සෙචරියා බයිබල් පාඨ උපුටා දක්වමින් බයිබලය ඇත්ත බව ඔප්පුකිරීමට වෙහෙස ගෙන ඇති බව පර්යේෂකයෝ පෙන්වාදෙති. සෙචරියා යනු බයිබලයේ සඳහන් පුද්ගල නාමයකි. නූතන පර්යේෂකයන් පෙන්වාදෙන අන්දමට සුමේරියානුවන් ‘නිබිරු’ තබා ‘යුරේනස්, නැප්චුන්, ප්ලෝටෝ’ගැනවත් දැන සිට නැත.

සෙචරියාගේ ටොම්පචයෙන් තවත් ගජබින්නාලංකාරයක් නිර්මාණය කිරීමට පදනම වැටිණි. තමන් අදිමානසික බලයෙන් යුක්ත තැනැත්තියක් බවට හඳුන්වාගත් පිටසක්වල ජීවීන් සමග කතාබහ කළ තැනැත්තියක් බවට ප‍්‍රචාරය කෙරුණු නැන්සි ලෙයිඩර් භ්බජහ ඛැසාැර  නිබිරු ග‍්‍රහලෝකය පෘථිවියේ ගැටීමෙන් 2003 මැයි මාසයේදී ලෝක විනාශය සිදුවන බව ප‍්‍රකාශ කළාය. 2003 දී එය සිදු නොවූයෙන් දිනය 2012 දෙසැම්බර තෙක් කල් තැබිණි. 

1984 දී දස වැනි ග‍්‍රහලෝකයක් පිළිබඳ කතිකාවක් ඇරඹිණි. එයින් නිබිරු හෙවත් X ග‍්‍රහලෝකය පිළිබඳ කතිකාවට අලූත් පණක් ලැබුණි. නාසා ආයතනය තියුණු පරීක්ණවලින් පසු ප‍්‍රකාශ කළේ එය ග‍්‍රහලොවක් නොව වෙනත් මන්දාකිණියක් බවයි. 

මායා කැලැන්ඩරයේ කතාව 
මායාවරුන්ගේ කැලැන්ඩරය 2012 දෙසැම්බරයෙන් අවසන් වන බවටත් එසේ කැලැන්ඩරය එතැනින් අවසන් කර ඇත්තේ එම කාලයේදී ලෝක විනාශය සිදු වන නිසා බවටත් විශාල කතාබහක් මේ දිනවල පවතී. 

මායාවරුන් සතුව දියුණු තාරකාවිද්‍යා ශාස්ත‍්‍රයක් තිබුණු බව ඇත්තකි. එහෙත් ඔවුන් කිසිදාක ලෝකවිනාශයක් පිළිබඳ අනාවැකි පවසා නැත. මේ බව මායා ශිෂ්ටාචාරය පිළිබඳ ප‍්‍රාමාණික උගතුන් සනාථකර ඇත. දැනට සොයාගෙන ඇති මායා කැලැන්ඩරයේ සඳහන් අවසන් දිනය ලෝකවිනාශය ගැන කියවෙන්නක් නොවේ.

සරල උදාහරණයකින් මෙය පැහැදිලි කළ හැකිය. වසර 2000ට පෙර නිපදවුණු පරිගණක ආශ‍්‍රිත උපාංගවල කැලැන්ඩරයේ තිබුණේ 1999 වර්ෂය තෙක් පමණි. මේ නිසා මහා කලබැගෑනියක්ද එකල හටගත්තේය. එහෙත් පසුව නිපදවුණු පරිගණක උපාංගයන්හි කැලැන්ඩරය ඉතා දීර්ඝ කාලයක් ඉදිරිය දැක්විය හැකි පරිදි නිපදවිණි. ඕනෑම කැලැන්ඩරයකට ආරම්භයක් හා සාපේක්ෂ අවසානයක් තිබේ. එහෙත් එය දක්වා ඇති අවසාන දිනයෙන් අවසන් නොවේ. එය එතැන් සිට ඉදිරියට ගණනය කරගෙන යාහැකිය. මායා කැලැ්නඩරයද එසේය. එය ඉදිරියට ගණනය කරගෙන යාහැකි එකකි.

එම නිසා මායා කැලැන්ඩරය පවසන ලෝක විනාශය මාධ්‍යකාරයන්ගේ පුහුසන්දර්ශනයක් පමණි.

සියලූ ග‍්‍රහයන් එක් ලක්ෂයක පිහිටීම
2012 දෙසැම්බර 21 දා සෞරග‍්‍රහ මණ්ඩලයේ සියලූ ග‍්‍රහයන් එක් ලක්ෂයක පිහිටන බවත් එනිසා ලෝක විනාශය සිදුවන බවටත් මතයක් තිබේ. නාසා ආයතනය පවසන පරිදි ඉදිරි දශක කිහිපය තුළ එබඳු ග‍්‍රහ පිහිටීමක් නොයෙදෙයි. එබන්දක් සිදුවුවද එය ලෝකය විනාශවීමට හේතුවක් නොවේ.

සෑම වසරකම දෙසැම්බර මාසයේ හිරු සහ පෘථිවිය ක්ෂීරපථයේ මධ්‍ය ලක්ෂය සමඟ කේන්ද්‍රගත වෙයි. මෙම සිද්ධිය මේ තාක් පෘථිවියට කිසිදු බලපෑමක් කිරීමට සමත්වී නැත. එම නිසා මේ වසරේදී පමණක් විශේෂයක් සිදුවීමට ඉඩක් නොමැත.

ධ‍්‍රැව විපර්යාස
චුම්භක ක්ෂේත‍්‍ර මාරුවීම නිසා සිදුවන ධ‍්‍රැව විපර්යාසයෙන් පෘථිවිය විනාශයට පත්වන බවටද මතයක් තිබේ.

පෘථිවිය වටා පිහිටා ඇති චුම්භක ක්ෂේත‍්‍රය වසර ලක්ෂ හතරකට (400000) වරක් විරුද්ධ දිශාවට හැරෙයි. එනම් චුම්භක උතුර පිහිටා ඇති දිශාව මාරුවේ. සිදුවන දැනට කර ඇති ගණනය කිරීම්වලට අනුව මෙම වෙනස සිදුවීමට නියමිතව ඇත්තේ තවත් වසර 1000ත් 3000ත් අතර කාලයේදීය. ස්ථිර වශයෙන්ම 2012 වසරේදී එබඳු වෙනසක් සිදු නොවේ. 

එබඳු චුම්භක ක්ෂේත‍්‍ර මාරුවකදී වුවද ලෝක විනාශයක් සිදු නොවන බව පෘථිවිය වසර මිලියන ගණනක් පැරණි බවට කර ඇති සොයාගැනීම් සාක්ෂි සපයයි.

හිරු කුණාටු
මේ දෙසැම්බරයේ හටගන්නා සූර්ය කුණාටු නිසා ලෝක විනාශය සිදුවන බවට තවත් මතයක් තිබේ.

වසර 11කට පමණ වරක් හිරු කුණාටු ඇති වන බව විද්‍යාඥයන් සොයාගෙන ඇත. පසුගිය කාලවල සිදුවූ හිරු කුණාටුවලින් චන්ද්‍රිකා සන්නිවේදන කටයුතුවලට බාධා සිදු විණි. මේ වන විට හිරු කුණාටුවලට ඔරොත්තු දෙන තාක්ෂණික උපකරණ නිපදවීමට විද්‍යාඥයෝ සමත්ව සිටිති.

2012-14 කාලය තුළ හිරු කූණාටු සිදුවීමට නියමිත බව ඇත්තකි. එහෙත් ඒවා ලෝක විනාශයට හේතුකාරක නොවන බවද විද්‍යාඥයෝ සහතික වෙති. විශේෂයෙන්ම හිරු කුණාටුවලට මුහුණදීමට හැකි වාතාවරණයක් විද්‍යාඥයන් ගොඩනගා ඇති නිසා හිරු කුණාටුවලින් ලෝකවිනාශය සිදුවේ යැයි පැවසිය නොහැකිය.

මෙසේ ලෝකවිනාශය සිදුවෙතැයි පැවසෙන සියලූ කරුණු හුදෙක් බොරුබේගල් බව විද්‍යාඥයන් සනාථ කර ඇත. එහෙත් මාධ්‍යකරුවෝත්, යොහෝවාගේ සාක්කිකාරයෝ බඳු ආගම් කල්ලිකාරයෝත් ලෝකවිනාශය හිඟන්නාගේ තුවාලයක් කරගෙන සිටිති. යොහෝවාගේ සාක්කිකාරයෝ කල්ලිය ලෝක විනාශය ලඟ ලඟම එන බවත් එම නිසා අවසන් විනිශ්යට සූදානම්වීමට තමන්ගේ කල්ලියට එක්විය යුතු බවත් කියමින් සිය කල්ලිය වැඩිකරගැනීමට ලොව පුරා විශාල ප‍්‍රචාරයක ව්‍යාපාරයක් දියත් කර තිබේ. බොහෝ මාධ්‍යකරුවන් අසුවී සිටින්නේ යොහෝවාගේ සාක්කිකාරයන්ගේ මේ උගුලේය.

සැබෑ මාධ්‍යකරුවන් කළ යුත්තේ මෙබදු කරුණක් ගැන කතාකිරීමට තරම් විද්‍යාත්මක දැනුම ඇති පිරිස් මාර්ගයෙන් සමාජය දැනුවත් කර සමාජයේ මෝඩකම අඩුකිරීමට කටයුතු කර සාමජයට සේවයක් කිරීමයි.

ඒත් අපේ උන්දලා සේවය කරන්නේ කාටද????????

Friday, September 7, 2012

ලෝකයේ එතෙක් මෙතෙක් පහළ වූ හොඳම නවකතා හා ශාස්ත‍්‍රීය කෘති විචාරකයාට හිමි සම්මානය ශ‍්‍රී ලාංකිකයෙකුට. තෑග්ග පවුම් ලක්ෂ 10ක්.


ලෝකයේ එතෙක් මෙතෙක් පහළ වූ හොඳම නවකතා හා ශාස්ත‍්‍රීය කෘති විචාරකයාට හිමි සම්මානය ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය රත්නසිරි අරංගලට හිමිවී ඇති බව ඉතා සතුටින් දැනුම් දෙමි. එම සම්මානය පිරිනැමීමේ උළෙලට දැන් සිටම අතිවිශාල ජනකායක් ඉතා වෙහෙස මහන්සි වී වැඩකටයුතු කරමින් සිටිති. ලබන වසරේ අපේ‍්‍රල් 1 වැනිදා ඩබ්ලින් නුවරදී මේ පිළිබඳ සම්මානය, සහතිකය හා මුදලින් ස්ටර්ලින් පවුම් ලක්ෂ දහයක මුදල එතුමාට පිරිනැමීමට නියමිතයි. මේ සියලූ තෑගි ඩබ්ලින් ප‍්‍රදර්ශනාගාරයේ ඇති බර්නාඞ් ෂෝගේ ඉටි රූපයේ අතේ එල්ලා, ෆ‍්‍රාන්ස් කෆ්කා, සාත්‍රේ, වික්ටර් හියුගෝ, වෝල්ටයර්, රූසෝ, බර්ටන්ඞ් රසල්, ඇලෙක්සැන්ඩර් ඩියුමා, ලියෝ ටෝල්ස්ටෝයි, මැක්සිම් ගෝර්කි (තවමත් ලැයිස්තුව සැකසෙමින් පවතී. ලෝකයේ සියලූ පූජිත නිර්මාණකරුවන්ගේ ඉටිරූප මේ වෙනුවෙන්ම හෝ නිර්මාණය කරවීමට සංවිධායක මණ්ඩලය බලාරොත්තුවෙයි)  ඇතුළු තවත් ලෝක පූජිත ලේඛකයන් රාශියකගේ ඉටිරූපවල අත්වලින් තල්ලූකර මහාචාර්ය රත්නසිරි අරංගල මහතාට පිළිගැන්වීමට යෝජිතයි.

ඊට හේතුවූයේ එතුමා ඊයේ පැවති ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙලේ නවකතා හා ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ විනිශ්චයකරුවකු වශයෙන් කටයුතු කරමින් ලියා තිබුණු  විචාර දෙකයි. මේ සම්මානයේ සමහිමිකරුවන් වශයෙන් එතුමා සමඟ එම විනිශ්චය මණ්ඩලවල කටයුතු කළ තවත් 4 දෙනකුද නම් කළ යුතු බව ලෝක සාහිත්‍ය කමිටුවේ පළමු මතය විය. මා විසින් ලියන ලද පහත දැක්වෙන ලිපිය කියවූ ඔවුන්, නවකතා විනිශ්චය මණ්ඩලයේ දෙදෙනෙකුද ශාස්ත‍්‍රීය කෘති අංශයේ දෙදෙනෙකුද වශයෙන් තවත් හතර දෙනකු සිටියද සැබැවින්ම මේ විවේචන දෙකම ලියා ඇත්තේ මහාචාර්ය රත්නසිරි අරංගලයන් විසින්ම බවට පිළිගෙන මේ සම්මානය එතුමාට පිරිනැමීමට තීරණයකර තිබේ.

සාහිත්‍ය මාසය ඇරඹුණි. ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙල ඊයේ සවස (2012.09.06 සවස) ජෝන් ද සිල්වා සමරු (කුප්පිලාම්පු එළියක් තම් වත් ආලෝකයක් නැති, පේ‍්‍රක්ෂකයන් දහඩියෙන් නාවමින් බඩගාමින් දුවන විදුලි පංකා ඇති මේ මහා රඟහල පිළිබඳව වෙනම ලිපියක් ලිවිය යුතුය) රඟහලේදී පැවැත්විණි. සිය පුද්ගලික මුදලින් රුපියල් ලක්ෂ 5කට අධික මුදල් ත්‍යාගද (ඇනකොන්ඩාගේ ගණනය කිරීම්වලට අනුව) පිරිනමමින්, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ ආයතනයේ හිමිකාර සිරිසුමන ගොඩගේ මහතා වසරක් පාසා පවත්වන මේ සාහිත්‍ය උළෙල ඇත්තෙන්ම අගය කළ යුතු කාර්යයකි. නමුත් සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි භාෂා තුනෙන්ම පළවූ නවකතා, කෙටිකතා පොත්, කවිපොත් හා යොවුන් නවකතා පොත් පිළිබඳ සලකා බලමින් පවත්වන ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලට වඩා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමයේ සාමාජිකයන් පළ කළ නවකතාවට පමණක් සම්මාන දෙන ස්වර්ණ පුස්තක උළෙල අපේ බොහෝ ජනමාධ්‍යකරුවන්ට වටිනා බවක් මාධ්‍යවල පළ වන වාර්තාවලින් පෙනේ. මෙය ඉතා කනගාටුවට කරුණකි.

මෙම සම්මාන උත්සවයේදී සිංහල නවකතාවට හා කවිපොතට සම්මාන දීමක් සිදු නොවිණි. සුදුසු මට්ටමේ පොත් නැති බව නිවේදනය කරන ලදි. උළෙල අවසානයේ බෙදාදුන් ප‍්‍රගති සමාලෝචනයේ සම්මාන දීමට හා නොදීමට හේතු ඒ ඒ සමීක්ෂණ මණ්ඩල විසින් සිය වාර්තා මගින් පැහැදිලි කර තිබුණි. කවි පොතකට සම්මාන නොදුන්නේ ඇයිද යන්න පැහැදිලි කරමින් ඉතා දීර්ඝ විවේචන කීපයක් පළවී තිබුණි. ඒවා කියවීම පසෙකට තබා නවකතාව පිළිබඳව පළ කර තිබුණු කෙටි වාර්තාව කියවීමි. එය නම් ඇඟ හිරිවට්ටන ඉතා පුදුම වාර්තාවකි. ලියූ කෙනෙකු නැති නිසා එය නවකතා සමීක්ෂකයන් වශයෙන් කටයුතු කළ මහාචාර්ය රත්නසිරි අරංගල, සෝමා ජයකොඩි, කුමුදු කරුණාරත්න යන තිදෙනාගේ පොදු වාර්තාවක් යයි සිතුණද ශාස්ත‍්‍රීය පොත් පිළිබඳව ලියා ඇති වාර්තාව කියවූ විට ඒවායේ භාෂා භාවිතය අනුව මේ දෙකම එකම පුද්ගලයකුගේ වාර්තාවක් දැයි ඇනකොන්ඩාට සැක පහළ වුණි. එම නිසා මේ මණ්ඩල දෙකේම කටයුතු කර ඇති මහාචාර්ය රත්නසිරි අරංගල නවකතා විචාරය ලියා ඇති බව පෙනේ. ඇනකොන්ඩාගේ මතය එය වුණත් ලිපියේ වගකීම සමීක්ෂකයන් තිදෙනාම සතුය. ඒ තිදෙනා පමණක් නොවේ, ප‍්‍රගති සමාලෝචන පොතේ සඳහන් පරිදි නවකතාව තේරීමට බාහිර සමීක්ෂකයන් වශයෙන් සහභාගිවූ සිරිනිමල් ලක්දුසිංහ සහ මහාචාර්ය අරංගලගේ පිය බිරිඳ ප‍්‍රදීපා සේරසිංහද වගකිව යුතුය.

නවකතාවට සම්මාන නොදීමට ප‍්‍රධානම හේතුව පිළිබඳව මේ වාර්තාවේ මෙබඳු සටහනක් තබා තිබේ.

‘‘සමීක්ෂක මණ්ඩලයට පැවරුණු කාර්යය 2011 ප‍්‍රකාශිත ‘නවකතා’ අතරින් 2012 ගොඩගේ ජාතික සාහිත්‍ය ත්‍යාගය ප‍්‍රදානය කිරීමට යෝග්‍ය කෘතිය නම් කිරීම වුවද එසේ තෝරාගන්නා නවකතා සියවස් තුනක අතීතයකට හිමිකම් පවසන විශ්ව නවකතා අතර හා සියවසකට ආසන්න අතීතයක් ඇති සිංහල නවකතා අතරද නිවැරදිව ස්ථානගත කළයුතු වෙයි. සාවද්‍ය විනිශ්චයකින් සිදුවන බරපතළම හානිය නම් අනවශ්‍ය ප‍්‍රමිති ගොඩනැගීමයි.’’

බැලූ බැල්මට නම් මෙය අගනා ශාස්ත‍්‍රීය කාර්යයකි. නමුත්, 2011 වසරේ ලංකාවේ පළ වුණු සිංහල නවකතා පොත්, සියවස් තුනක විශ්ව නවකතා ඉතිහාසයේත් සියවසක පමණ සිංහල නවකතා ඉතිහාසයේත් නිවැරදිව ස්ථානගත කිරීමට මේ සමීක්ෂකයන්ට ඇති හැකියාව කුමක්ද? ඔවුන් එතරම්ම දැවැන්ත නවකතා විචාරකයන්ද? අප දන්නා පරිදි සෝමා ජයකොඩි යනු ප‍්‍රකට ලේඛිකාවක විනා සාහිත්‍ය විචාරයේ යෙදෙන තැනැතියක් නොවේ. පසුගිය දවසක ඒ බව ඇයම පුවත්පතකට ප‍්‍රකාශ කර තිබුණි. කුමුදු කරුණාරත්න විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් බව ඇත්ත නමුත් ලෝක නවකතා සාහිත්‍යය පිළිබඳව ඇය ලියූ කිසිදු වැදගත් විචාරයක් ගැන අප නම් අසා නැත. රත්නසිරි අරංගල ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්යවරයකු බව ඇත්ත නමුදු ඔහු ලෝක නවකතා හෝ සිංහල නවකතා පිළිබඳව ලියූ කිසිදු වැදගත් විචාරයක් අපට කියවන්නට ලැබී නැත. සිරිනිමල් ලක්දුසිංහ අප දන්නා පරිදි ඉතිහාසය හා පුරාවිද්‍යාව පිළිබඳ හොඳ උගතෙකි. ඔහු විශ්ව නවකතාව හෝ සිංහල නවකතාව පිළිබඳ විශේෂඥයකු බවක් අප නම් අසා නැත. ප‍්‍රදීපා සේරසිංහ නවකතා විශේෂඥවරියක්ද යන්න ඇනකොන්ඩා නොදනී. නවකතාව තියා මොනවා ගැන හෝ ඇය ලියූ කිසිම දෙයක් අපට කියවන්නට ලැබී නැත. 2011 සිංහල නවකතාව ලෝක නවකතා ඉතිහාසයේ හා සිංහල නවකතා ඉතිහාසයේ නිසි තැන තබන්නට මෙබඳු ලිලිපුට්ටන් කීපදෙනෙකුට හැකියාව තිබේද? අඩුම තරමින් ඔවුන් පසුගිය වසරේ පළවූ පොත් අතර තිබුණු දයා දිසානායකගේ 'ක්ලෝනියකගේ කතාවස්තුව' සහ ටෙනිසන් පෙරේරාගේ  'අභිරහස් ජීවිත තරණය' කෘති පිළිබඳ විචාරයක් කරන්නට තරම් වත් සාහිත්‍ය දැනුමින් යුත්තෝ වෙත්ද?

2011 නවකතා අතර සම්මානයට පාත‍්‍ර කළ යුතු මට්ටමේ එකම පොතක්වත් නැතැයි කීවද මේ විචාරකයන්  අවසන් වටයට තෝරා ඇති එකම නවකතාවක වත් දුර්වල තැන් පෙන්වමින් විවේචනයක් ඉදිරිපත් කර නැත. නිකාම්ම නිකං ‘හොඳ නැතැයි’ කීම සැබෑ විචාරකයෙකුට ගැලපේද? එබඳු ‘විචාරයක්’ අප කෙතරම් දුරට පිළිගත යුතුද?

මහාචාර්ය රත්නසිරි අරංගල මේ සම්මාන උළෙලේ හොඳම ශාස්ත‍්‍රීය කෘතිය තේරීමේ මණ්ඩලයේද සාමාජිකයෙකි. (ඔහු සම්මාන කමිටුවේ සභාපතිද වෙයි.) පුදුමයකි 2011 වසරේ පළවූ ශාස්ත‍්‍රීය පොත් ලෝක ශාස්ත‍්‍රීය කෘති ඉතිහාසයේ හා සිංහල ශාස්ත‍්‍රීය කෘති ඉතිහාසයේ නිසි තැන තබන්නට අරංගලද ඇතුළත් සමීක්ෂණ මණ්ඩලය උත්සාහ කර නැත. මේ මහා පරස්පර විරෝධී ක‍්‍රියාවට හේතුව කුමක්ද? ඒ බොහෝදෙනා දන්නා පරිදි විශ්වවිද්‍යාලයේදී තමන්ට උඩට එන්නට අතදුන් සිය ගුරුවරයාවූ මහාචාර්ය ඒ. වී. සුරවීරගේ පොතට තෑග්ග දෙන්නට අරංගලට අවශ්‍ය  වූ නිසාද?

නවකතා සමීක්ෂණ වාර්තාවේ ඇති මේ සඳහන බලන්න. ‘‘විද්‍යා ප‍්‍රබන්ධ යන රචනා ප‍්‍රවර්ගයට සමාන ප‍්‍රබන්ධ කථා කිහිපයක්ද අපට හමුවෙයි. ඉන් කිහිපයකටම ‘ජාන තාක්ෂණය’ හා සම්බන්ධ වෘත්තාන්ත පදනම් කොට ගැනුණු බව මතුපිටින් දිස්වෙයි. එහෙත් ඒ එකකුදු ජාන ඉංජිනේරු විද්‍යාවේ හෝ ශාක ඞී.එන්.ඒ. තාක්ෂණයෙහි හෝ මූලිකාංග පිළිබඳව අවබෝධයකින් යුක්තව රචනාවී නැත.’’

එම පොත් ජාන ඉංජිනේරු විද්‍යාව හා ඞී.එන්.ඒ. තාක්ෂණය ගැන අවබෝධයකින් යුතුව ලියා නැති බව කියන්නේ සමීක්ෂකයන් එම ක්ෂේත‍්‍රයන් පිළිබඳ පාරප‍්‍රාප්ත දැනුමින් යුතුව පොත් සමීක්ෂණයකර බැලීමෙන් පසුවද? ‘නිර්මාණකරුවකුට’ ‘නව’ කතාවක් ‘නිර්මාණය’ කිරීමට තාක්ෂණය පිළිබඳව අවබෝධයක් තිබිය යුතුමද? එසේනම් නිර්මාණයක් යනු කුමක්ද? ‘එක් ඇණයක් එබූ විට දොරවල් සියල්ල ඇරෙයි. එක් ඇණයක් එබූ විට දොරවල් සියල්ල වැසෙයි’ යන අදහසක් උම්මග්ග ජාතකයේ එන්නේ කතාකරුවා ‘රිමෝට් කොන්ට්‍රෝල් තාක්ෂණය දැන සිටි නිසාද? අපට වැටහෙන හැටියට නම්, සුද්දන්ගේ අදහස් ගොන්නක් කටපාඩම් කරගෙන ඇතිවා විනා, මේ ඊනියා විචාරකයන් නිර්මාණ විචාරයට බහින්නේ ‘නිර්මාණකරණය’ යන්නෙහි මූලිකාංග වත් දැනගෙන නොවේ.

‘සමීක්ෂණයට ලක් කළ හැම ‘නවකතාවක’ ම පාහේ අක්ෂර වින්‍යාසයේ හා වාක්‍ය වින්‍යාසයේ මූලිකාංග බිඳ වැටී තිබෙනු දැකගත හැකිවීම විශේෂයෙන් සඳහන් කළ යුතුය’යි කියන මේ විචාරකයන් සිය විචාරය පරිසමාප්තියට පත්කරන මේ තීරණාත්මක වැකිය බලන්න.

‘‘ස්වීයානුභූතීන් කලාත්මකව හා විශ්වසනීයත්වයෙන් යුතුව ප‍්‍රතිනිර්මාණයට හා ප‍්‍රබල වින්දයක් උත්පාදනය වන අන්දමින් භාෂා භාවිතයට අපොහොසත් වීමත් හේතුවෙන් 2011 වසරේ ප‍්‍රකාශිත ‘නවකතා’ අතර සම්මාන පිරිනැමිය යුතු කිසිදු කෘතියක් නොමැතිබව සමීක්ෂක මණ්ඩලයේ තීරණය වෙයි.’’

මේ වාක්‍ය වින්‍යාසය නිවැරදිව යෙදූ වාක්‍යයක්ද? නැත. ‘‘....ප‍්‍රතිනිර්මාණයට හා ප‍්‍රබල වින්දයක් උත්පාදනය වන අන්දමින් භාෂා භාවිතයට අපොහොසත් වීමත්’’ යන කොටසෙහි අන්තර් සබඳතාව බිඳවැටී තිබේ. රටේ ලේඛකයන්ට ලියන්න බැහැයි කියන්නේ මෙබඳු ලියන්නන්ය.

මේ සාහිත්‍ය විචාර කාර්යාවලිය අතිශය ශාස්ත‍්‍රීය කාර්යයක් සේ සලකා ක‍්‍රියාවට නංවන ලද බවක් හුවාදැක්වීමට මහාචාර්ය අරංගල උත්සාහ ගෙන තිබේ. එහෙත් අපට නම් පෙනෙන්නේ එහි ඇති අශාස්ත‍්‍රීයභාවයමය. ඒ බව ඔප්පු කෙරෙන ඔවුන්ගේ මේ කදිම සටහන ශාස්ත‍්‍රීය කෘති සමීක්ෂණ වාර්තාවෙන් උපුටා මෙහි බහාලමු.

‘‘2012 ගොඩගේ සාහිත්‍ය සම්මාන ප‍්‍රදානය සඳහා අභිනවයෙන් එක් කරන ලද ක්ෂේත‍්‍රය වන ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ යටතේ කෘති ඥඥඥක් සමීක්ෂණයට ලක් කරන ලදි. සමීක්ෂණ මණ්ඩලය වශයෙන් ජයන්ත අමරසිංහ, පේ‍්‍රමදාස ශ‍්‍රී අලවත්තගේ හා රත්නසිරි අරංගල කටයුතු කළහ.’’

ඉහත ෙඡ්දයෙහි තද කළු අකුරින් දක්වා ඇති කොටස බලන්න. මේ පවසන්නට උත්සාහ ගෙන ඇත්තේ සමීක්ෂණය කරන ලද පොත් සංඛ්‍යාවයි. හොරාට කලින් කෙහෙල්කැන වැට පැන්නා සේ වැඬේ මඥඃ වී ඇත. පොත් සංඛ්‍යාවට අදාළ ඉලක්කම් වෙනුවට සඳහන් වී ඇත්තේ ඥඥඥ අකුරු තුනයි. මේ සමීක්ෂකයන් 2012 වසරේ පළවූ ශාස්ත‍්‍රීය පොත් කියැවූවානම් ඒවායේ සංඛ්‍යාව දමන්නට හැකියාවක් නැත්තේ ඇයි? මෙයින් හෙළිදරව් වන්නේ කුමක්ද? මොවුන් පොත් කියවා නැති බවයි.

මෙය තේරුම්ගන්නට අසීරු කටයුත්තක් නොවේ. හොඳම ශාස්ත‍්‍රීය පොතට හිමි තෑග්ග ලැබුණේ මහාචාර්ය ඒ. වී. සුරවීරටය. සුරවීර, අරංගල විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුව සිටි කාලයේ ඔහුට උඩට එන්නට උදව් කළ ගුරුවරයාය. එදා පටන්ම සුරවීරගේ පොත්වල සෝදුපත් කියවන්නා අරංගල බව පොත්වල සඳහන් කර තිබේ. අනුන්ගේ මඟුල්ගෙදරදී යාලූවන්ට සංග‍්‍රහ කරන්නාසේ අරංගලගේ පිනටත් ගොඩගේගේ පවටත් අරංගලට ලැබුණු සභාපතිකම පාවිච්චිකර ගුරුසංග‍්‍රහයක් කරන්නට යාමේ ප‍්‍රතිඵල නොවේද මේ?

ශාස්ත‍්‍රීය පොත් සමීක්ෂණය කිරීම පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා විවිධ විෂයන් පිළිබඳව මහාදැනුම් සම්භාරයක් ඇති උගතුන් සිටිය යුතුය. අනුන්ගේ දැනුම හොරකම්කර පොත් පළකරන බුද්ධි චෞරයන් බහුලව සිටින මේ කාලයේ එබඳු සමීක්ෂණ කාර්යයක් වඩාත් අසීරුය. පැරණි උගතුන්ගේ පොත්වල වචන එහාමෙහා කළ පොත් බොහොමයක් නව නිර්මාණ ලෙස පළවන බැවිනි. පසුගිය වසරේ ඉතා වැදගත් ශාස්ත‍්‍රීය පොත් කීපයක්ම පළවී තිබුණා ඇනකොන්ඩාට මතකය. ඒ අතර පශ්චාත් නූතනවාදය, මාක්ස්වාදය වැනි විෂයයන්ට අදාළ පොත්ද තිබුණු බවත් මතකය. ගොඩගේ සම්මාන උළෙලේ ශාස්ත‍්‍රීය කෘති සමීක්ෂණය කළ රත්නසිරි අරංගල, ආචාර්ය ප්‍රේමදාස ශ‍්‍රී අලවත්තගේ, ජයන්ත අමරසිංහ අතරින් එබඳු විෂයන් පිළිබඳ පෘථුල දැනුමක් ඇත්තේ කාටද? අප දන්නා පරිදි මේ තිදෙනාම සිංහල හා ඉතිහාස උගත්තු වෙති.

එබැවින් 2011 වසරේ පළවූ ප‍්‍රශස්ත ශාස්ත‍්‍රීය පොත තේරීමට කළ මේ අශාස්ත‍්‍රීය සමීක්ෂණ කටයුත්ත පිළිගත හැක්කේ කාටද?

‘‘ඔබේ කේන්ද්‍රය ඔබම බලාගන්න’’


ජ්‍යොතිෂය වනාහි සමාජයට විශාල බලපෑමක් කරන ශාස්ත‍්‍රයකි. ජ්‍යොතිෂය නොපිළිගන්නා බව කියන ඇතැම් පුද්ගලයන් පවා විවාහය වැනි අවස්ථාවලදී රහසේ එහි පිහිට පැතීමට යොමු වෙති. ජ්‍යොතිෂය සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරන ඇතැමුන්ට පවා එබඳු අවස්ථාවලදී අන්‍යයන්ගේ බලපෑම මත ජ්‍යොතිෂය මත පිහිටා තීරණතීන්දු ගැනීමට සිදු වේ.

ජ්‍යොතිෂය සත්‍යයක් බව ඇතැමෙක් කියති. ජ්‍යොතිෂය පිළිගත නොහැකි බව තවත් සමහරු කියති. ජ්‍යොතිෂය ඇත්තක්ද බොරුවක්ද යන්න තීරණය කිරීමට තරම් මේ දෙපිරිසටම සුදුසුකම් නැත යන්න ඇනකොන්ඩාගේ විශ්වාසයයි. ජ්‍යොතිෂය යනු ශ්ලෝක ලක්ෂ හතරකින් (400000) යුතු ඉතා පැරණි ශාස්ත‍්‍රයකි. මේ ශ්ලෝක ලක්ෂ හතර තබා එයින් අලූක්කාලක් වත් දන්නා අයකු මේ වකවානුවේ සොයාගැනීමට සිටිතැයි සිතිය නොහැකිය. ලංකාවේ මෑත විසූ ප‍්‍රසිද්ධ ජ්‍යොතිෂවේදීන් පවා පර්යේෂණ මට්ටමින් එය භාවිතා කළවුන් විනා ඔවුන් ජ්‍යොතිෂය විෂය සම්බන්ධ ප‍්‍රාමාණිකයන් යයි කිව නොහැකිය. එහෙයින් අප කිසිවකුට මේ ශාස්ත‍්‍රයේ සතයාසත්‍යභාවය පිළිබඳව කතාකිරීමට දැනුමක් ඇතැයි නොසිතමි.

ජ්‍යොතිෂවේදීන්ගෙන් වැඩි පිරිසක් ජ්‍යොතිෂය භාවිතා කරන්නේ කිසිදු වගවිභාගයකින් හෝ ප‍්‍රමාණවත් දැනුමකින් තොරවය. නිදසුනක් ලෙස රේඩියෝ හා රූපවාහිනී ඉදිරියේ පෙනීසිටිමින් රසිකයන්ගේ කේන්ද්‍ර සටහන් උඩින් පල්ලෙන් බලා නැතිනම් ඒ ගැන ඇසූ පමණින් පලාපල කියන පිරිස් දැක්විය හැකිය. ජ්‍යොතිෂ පලාපල කීම ඔය තරම් පහසු කටයුත්තක් විය හැකිද? සාමාන්‍යයෙන් දළ කේන්ද්‍රය යනුවෙන් හඳුන්වන මූලික කේන්ද්‍රය පමණක් බලා පලාපල කීමට නොහැකි බව ජ්‍යොතිෂ ශාස්ත‍්‍රයේ මූල ග‍්‍රන්ථ කියයි. ඒ සඳහා සුදුසු ක‍්‍රමය වන්නේ භාව කේන්ද්‍රය පරීක්ෂා කිරීමයි. එසේම, ද්‍රෙෂ්කාණ, නවාංශක, ත‍්‍රිංශාංශක, ශෂ්ට්‍යාංශක ආදි වශයෙන් ‘අවස්ථාව’ තෙක් විස්තර, ග‍්‍රහයින්ගේ උච්ච-නීචබව, සතුරු-මිතුරු බව, ඒඒ ග‍්‍රහයින්ගේ දෘෂ්ටි, ග‍්‍රහයෝග ආදි වශයෙන් දැඩි පරීක්ෂාවකට ලක් කළ යුතු කරුණු ගණනාවක් වෙයි. මෙය පහසු කටයුත්තක් නොවේ. ඉතා බරපතල පරීක්ෂණ ක‍්‍රමවේදයකි. පොරොන්දම් ගැලපීමේදී සාමාන්‍යයෙන් පරීක්ෂා කරනුයේ චන්ද්‍රයාගේ බලපෑම මත කෙරෙන විග‍්‍රහයන් පමණි. විවාහයකදී ඊට වඩා බලපෑම් කෙරෙන ග‍්‍රහ පිහිටීම් ගණනාවක් පිළිබඳව ජ්‍යොතිෂ සිද්ධාන්තවල සඳහන් වේ. මේ කිසිවක් පරීක්ෂා නොකර පලාපල කියන්නේ කෙසේද? 

තවත් සමහරු තමන්ගේ කේන්ද්‍රය තමාටම පරීක්ෂා කරගැනීමට උපදෙස් දෙමින් පොත් පළකරති. මෙය නම් පුදුම විජ්ජාවකි. විහිළුවකි. ජ්‍යොතිෂයේ මූළිකාංගවත් නොදන්නා කෙනෙකු කේන්ද්‍රයක් පරීක්ෂා කරන්නේ කෙසේද? පුවත්පත් ආදියෙන් ඒ ඒ ග‍්‍රහපිහිටීම් පිළිබඳව පළ කරන ලිපි කියවා තම කේන්ද්‍රයේ පලපල විග‍්‍රහ කරගන්නට ගොස් නන්නත්තාරවන අහිංසකයන් ගණනද සුලූපටු නොවේ.

භාව කේන්ද්‍රයක් යනු යම් තැනැත්තකු උපදින විට උදාවී ඇති ලග්නය අංශක කීයක් ගෙවා ඇත්ද යන්න මත පිහිටා සාදනු ලබන කේන්ද්‍ර සටහනයි. දල කේන්ද්‍රයේ හෙවත් කොටු දොළහේ කේන්ද්‍ර සටහනේ ඇත්තේ අංශක 360 රාශි දොළහට බෙදාදැක්වීමයි. ඒ අනුව එක් කොටුවක් යනු අංශක 30කි. අංක 1 කොටුව යනු කෙනෙකු උපදින විට ක්ෂිතිජයෙන් උදාවී ඇති ලග්නයයි. එම ලග්නය පුද්ගලයා උපදින විට ගෙවා ඇති අංශක ගණන සොයාබලා එම අංශකයේ සිට අංශක 30ක් පළමු රාශිය ලෙස ලකුණු කෙරේ. ඉතිරි අංශක 330 අනෙක් රාශි 11අතර බෙදීයයි. දල කේන්ද්‍ර සටහනේදී ක්ෂිතිජයෙන් උදාවී තිබුණු අංශක ගණන සැලකිල්ලට ගැනීමක් නැත. එහි මුල් රාශියේ ආරම්භය අංශක 0 ලෙස උපකල්පනය කෙරේ. මෙයින් සිදුවන වරද නම් ග‍්‍රහයන්ගේ පිහිටීම් වෙනස්වීමයි.

මෙය අවබෝධ කරගැනීම පහසු වනු පිණිස සරල උදාහරණයක් දක්වමි. කිසියම් තැනැත්තකු උපදින විට ක්ෂිතිජයේ ධනු ලග්නය අංශක 20ක් පසු කර තිබුණා යයි සිතමු. එවිට සැබෑ කේන්ද්‍රයේ 1 කොටුවේ ආරම්භය යනු ධනු ලග්නයේ අංශක 20යි. අංශක 0 නොවේ. අංශක 0 සිට අංශක 19 දක්වා කොටස සත්‍ය වශයෙන් ඇත්තේ 12 කොටුවේය. නමුත් බොහෝ දල කේන්ද්‍ර දෙස බැලූ පමණින් මේ බවවටහාගත නොහැකිය. ඒවායේ ඇත්තේ 1 කොටුව ධනු ලග්නය බවයි. (ඇතැම් ජ්‍යොතිෂකරුවෝ නම් අංශක ගණන දක්වති.) දැන් කුජ ග‍්‍රහයා මිථුන රාශියේ අංශක 4ක් ගෙවා ඇතැයි සිතමු. ඒ අනුව දල කේන්ද්‍ර සටහනක නම් කුජ ග‍්‍රහයා 7 වැනි කොටුවේ ලකුණු තිබෙනු දැකිය හැකිවේ. දැන් මිථුනයේ අංශක 4 සත්‍ය වශයෙන්ම පිහිටා ඇත්තේ කොහේ දැයි සිතන්න. එය ඇත්තේ 7 වැනි කොටුවේ නොව 6 වැනි කොටුවේය. මක්නිසාද? මිථුන ලග්නයේ මුල් අංශක 19ක් ඇත්තේ 6 වැනි කොටුවේ බැවිනි. භාව කේන්ද්‍රයකින් මෙය තහවුරු කරනොගතහොත් අර අසරණයාට ලේසියකට කසාදයක් බැඳගන්නට නොහැකි වෙයි. ‘කුජ 7 දෝෂය’ බලපාන බැවිනි. (මේ ලිපියට ලැබෙන ප‍්‍රතිචාර අනුව අවශ්‍ය යයි හැඟුණොත් ‘කුජ 7 දෝෂය’ පිළිබඳ වැරදි විග‍්‍රහයන් ගැන පසුව ලියමි.)

ග‍්‍රහයෝග හෙවත් ග‍්‍රහයින් කීපදෙනකු එක රාශියේ සිටින විට ඒ ඒ ග‍්‍රහයින් එම ග‍්‍රහයින්ගේ රශ්මි මණ්ඩලවලට අසුවන පරිදි ළංව පිහිටා තිබේ දැයි බැලිය යුතුය. නිකංම එක් කොටුවක ග‍්‍රහයින් කීපදෙනකු ලකුණු කර තිබුණු පමණින් එය යෝගයක් නොවේ. රවිගේ රශ්මි මණ්ඩලය අංශක17කි. ඉදිරියෙන් හා පසුපසින් අංශක 8.5 බැගින් වන සේය. චන්ද්‍රයාගේ අංශක 12කි. අනෙක් ග‍්‍රහයින්ගේ අංශක 8කි.

ග‍්‍රහයෙකුගේ නියම ස්වභාවය හෙවත් ‘අවස්ථාව’ නොදැන පලාපලකීම කෙසේ වත් නොකළ යුත්තක් බව ජ්‍යොතිෂ මූලග‍්‍රන්ථ පෙන්වාදෙයි. ග‍්‍රහයකුට අවස්ථා 12ක් තිබේ. ඒ ශයන, උපවේශන, නේත‍්‍රපාණි, ගමන, ආගමන, ආගම, ප‍්‍රකාශ, සභා, භෝජන, නේත‍්‍රපාණි, නිද්‍ර, කෞතුක යනුවෙනි. ග‍්‍රහයා කිසියම් රාශියක් තුළ මෙයින් කුමන අවස්ථාවේ පසුවන්නේ දැයි සොයාබැලිය යුතුමය. ඒ ඒ අවස්ථාවට අනුව ග‍්‍රහයාගේ ස්වභාවය වෙනස්වේ. කේන්ද්‍රයක ග‍්‍රහයින්ගේ ‘අවස්ථා’ සොයාගැනීමට විශාල ලෙස ගණනය කිරීම් කළ යුතුය. උදාහරණයක් දැක්වීම පවා අසීරුවන්නේ ජ්‍යොතිෂය පිළිබඳ මූලික දැනුමවත් නැති කෙනෙකුට මෙය අවබෝධ කරගත නොහැකි බැවිනි. උපමාවක් කියන්නේ නම් මෙය චණ්ඩියා කොතැන කෙබඳු තත්වයකු පසුවන්නේ දැයි සොයාගත හැකි ක‍්‍රමයකි. හොරා කඩුව අතින් ගෙන තමන් යන පාරේද, නැතිනම් හිරේද යන්න දැනගන්නවාට සමාන දෙයකි. හොරා හිරේ නම් බයවෙන්නට දෙයක් නැත.

ජ්‍යොතිෂයේ සත්‍යාසත්‍යතාවය කෙසේ වෙතත් ජ්‍යොතිෂ පලාපල කීමේත් තමාම තමාගේ කේන්ද්‍රය බලාගැනීමේත් සත්‍යාසත්‍යතාවය දැන් වැටහෙනවා ඇතැයි සිතමි.

Thursday, August 30, 2012

හොල්මන්, අවතාර, දේවතාවන්ගේ ඡායාරූප ගන්නේ කෙසේද?



පුවත්පත්වලත්, මුද්‍රිතපොත් ආදියේත් හොල්මන් අවතාර දේවතාවන් ආදීන්ගේ ඡායාරුප පළ වෙයි. භික්ෂූන් වහන්සේලාගේ සිට බැතිමතුන් තෙක් වන විවිධ පුද්ගලයෝ එබඳු අදෘශ්‍යමාන බලවේගවල  ඡායාරුප ප‍්‍රදර්ශනය කරති. විදේශවලද මේ පිළිබඳ විශාල උනන්දුවක් තිබේ. මීට වසර ගණනාවකට පමණ පෙර මගේ මිතුරකු මා හටමෙබඳු  ඡායාරුපයක් පෙන්වීය. මම එය එකහෙළාම ප‍්‍රතික්ෂේප කොට එබඳු  ඡායාරූප නිමවන්නේ කෙසේදැයි පැහැදිලි කළෙමි.

මෙබඳු බොහෝ  ඡායාරූපවලට පසුබිම් වී ඇත්තේ තාක්ෂණික හේතු බව  ඡායාරූප විශේෂඥයන්ගේත් තාක්ෂණික විශේෂඥයන්ගේත් මතයයි. දීර්ඝ කාච ද්වාර අනාවරණ (Long Exposure), පහළ මට්ටමේ ඩිජිටල් කැමරා (Entry Level, Low End) දෝෂ ආදිය මෙබඳු  ඡායාරූපවලට හේතු වන බවට ඔවුහු හේතු ඉදිරිපත් කරති. පරිගණක ග‍්‍රැෆික් නිර්මාපකයෝද මෙබඳු  ඡායාරූප නිපදවති. මෙය එබඳු කරුණු පිළිබඳ තාක්ෂණික විවරණයක් නොවේ. එබන්දක් අවශ්‍ය යැයි ඉල්ලා සිටින්නේ නම් පසුව ඒ පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළ හැකිය.

ප‍්‍රධානම කාරණය මෙබඳු බලවේග හෝ වස්තූන් තිබේ නම් ඒවා අතීන්ද්‍රීය වස්තූන්ය. එනම් සාමාන්‍ය මිනිසකුට පියවි ඇසින් දැකිය හැකි ඒවා නොවේ. බෞද්ධ සාහිත්‍යයෙහිද භූමාටු දෙවිවරුන්, පේ‍්‍රතයින් ආදීන් ගැන තොරතුරු සඳහන් වේ. සැලකිල්ලට ගත යුතු ප‍්‍රධානම කාරණය මෙබන්දන් සිටි නම් ඒ කිසිවකු සාමාන්‍ය මිනිසකුට පියවි ඇසට නොපෙනෙන ඒවා බවයි. දැකිය හැක්කේ දියුණු කළ සිතක් ඇත්තකුට පමණි.

කැමරාව යනු භෞතික වස්තු මත පතිත වන ආලෝකයේ පරාවර්තිත කිරණ ඇසුරින් ප‍්‍රතිබිම්භයක් නිර්මාණය කරන උපකරණයකි.  ඡායාරූපයක් ගැනීමට කිසියම් භෞතික වස්තුවකුත් ආලෝකයත් අත්‍යවශ්‍යය. ආලෝකය අවම වස්තුවල  ඡායාරූප ගැනීම සඳහා විකල්ප තාක්ෂණික ක‍්‍රම (Infra-red)  භාවිතා කෙරේ. එහෙත් මේ කිසිවකට භෞතිකව නොපෙනෙන වස්තවක  ඡායාරූපයක් නිර්මාණය කිරීමේ ශක්තියක් නැත.

පාරභෞතික වස්තුන්ගේ  ඡායාරූප ගැනීම සඳහා වන උපකරණ කට්ටල අතර එබඳු වස්තූන්ගේ  ඡායාරූප ගත හැකි ලෙස නිපදවූ කිසිදු කැමරාවක් ගැන අසන්නට නැත. එම කට්ටලවල ඇත්තේ ඩිජිටල් කැමරා,  Electromagnetic Meters, Motion Sensors, Infrared Thermometers, EVP (Electronic voice phenomena) Listners, වැනි උපකරණ කීපයකි.

එම නිසා කවුරුන් ඉදිරිපත් කළද හොල්මන්, අවතාර, දේවතාවන් ආදීන්ගේ  ඡායාරුප තාක්ෂණික දෝෂයක් හෝ පරිගණක ඇසුරින් නිපදවන ලද ඒවා මිස සත්‍ය  ඡායාරූප යයි පිළිගත නොහැකිය.

මෑත ඉතිහාසයේ පිටසක්වල යානා පිළිබඳ විශාල කතාබහක් බටහිර රටවල ඇති විය. පිටසක්වල ජීවීන්, යානා දුටුවන් පිළිබඳ වාර්තා මාධ්‍යවල පළ විය. පිටසක්වල යානා දුටු බොහෝ පුද්ගලයන් උන්මත්තකයන්, බේබද්දන් ආදීන් බවට තොරතුරුද ප‍්‍රසිද්ධ විය. ලංකාවේද පිටසක්වල යානා පිළිබඳ වාර්තා කීපයක් පුවත්පත්වල පළ විය. එක් යානාවක් ත‍්‍රිරෝද රථ රියදුරකු තම රථයේ විදුලි ලාම්පුවේ  ඡායාරූපයක් ඇසුරින් නිර්මාණය කරන ලද්දක් බව පසුව හෙළි විය.

දැන් බටහිර වැසියන්ට පිටසක්වල යානා තිත්තවී අවසන්ය. මේ දේවතා  ඡායාරූපවලටද අනාගතයේදී අත්වනු ඇත්තේ එම ඉරණමමය.

Wednesday, August 22, 2012

හිස් මාස්ටර්ස් වොයිස්



ස්වාසිලන්තයේ රජතුමා බිසව ඇතුළු රාජකීය දූත පිරිස ශ‍්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව අපූරු ලිපි සහ විවේචන රාශියක් ගතවූ සතිය පුරා කියවන්නට ලැබුණි. 

මේවායේ හරය මෙසේ ගොනු කළ හැකිය. සමහරෙකු ලියන්නේ ස්වාසිලන්තය නමැති කුඩා අප‍්‍රිකානු රට ‘ස්වාසය’ හැදුණු රටක් බවයි. තවත් අයෙකු ලියන්නේ ලංකාව ලෝකයේ රටවල් අතර අපකීර්තියට පත්වද්දී ස්වාසිලන්තය වැනි ‘ස්වාසය’ හැදුණු රටවල් සමග එක්වන බවයි. ස්වාසිලන්තයේ රජතුමා වසරක් පාසා තරුණියන් දහස් ගණනක් අඩනිරුවත් කරවා නිරුවත් නැටුමක් නරඹන බව සඳහන් කළ වෙබ් ලියන්නෙක් ස්වාසිලන්තයේ වාර්ෂික ජාතික රංගනයේ (රීඩ් ඩාන්ස් reed dance ) ඡායාරූප කිහිපයක් කාන්තාවන්ගේ පියයුරු කළු පාටින් ආවරණය කර පළකරයි. (එංගලන්තයේ වික්ටෝරියා සංස්කෘතිය තිබූ කාලයේ ක‍්‍රිස්තියානි පූජකවරුන් අතර මෙවැනි මෝඩ අදහස් දැරූවෝ සිටියහ. දැන් එවැනි අය එංගලන්තයේ නැත). 

අයෙකුට ස්වාසිලන්තයේ රජු එංගලන්තයේ අධ්‍යාපනය ලැබූ තවමත් වනචාරී ගතිපැවතුම් අත්හැර නැති පුද්ගලයෙකි. තවත් ලියන්නෙකුට ස්වාසි රජු එංගන්තයේ උගත් නමුදු හොඳ සිරිත් ඉගෙන නොගත් සාම්ප‍්‍රදායික අශෝභන සිරිත් රකින්නෙකි. මේ ලිපි කියවන අයෙකුට ‘අනේ මේ තරම් අඥානයන් තවමත් ලෝකයේ ඉන්නවාදැ’යි සිතේ. මොවුන්ට සාක්ෂරතාවය මිස දැනුම නැත.

ස්වාසිලන්තය හා එරට රජතුමා පිළිබඳ මෙබඳු ද්වේශ සහගත ලිපි ලියවෙන්නට හේතුව එම ලිපි ලියූ හැම දෙනාම ශ‍්‍රී ලංකා රජය සමග අමනාපයෙන් පසුවීම දැයි සිතේ. රජය සමග ඇති කෝපය නිසා මෙබඳු බොරු ලියන්නේ ඇයි? ශ‍්‍රී ලංකාව අප‍්‍රිකාවේ පමණක් නොව දකුණු ඇමරිකාවේද රටවල් ගණනාවක් සමග තානාපති සබඳතා ගොඩනැගීමට පියවර ගෙන තිබේ. එය වරදක්ද? ලංකාව හැමදාම බැදී සිටිය යුත්තේ බි‍්‍රතාන්‍යයන් හඳුන්වා දුන් රටවල් කිහිපය සමග පමණක් ද?

ස්වාසිලන්තයේ රජතුමා එංගලන්තයේ අධ්‍යාපනය ලැබූ පුද්ගලයෙක් පමණක් ම නොවේ. ඔහු ස්වාසි සංස්කෘතිය රැකීමටද බැදී සිටින ජාතික නායකයාය. රටේ පැවැත්වෙන වාර්ෂික රංගන උත්සවය ස්වාසිලන්තයේ ජාතික උරුමයයි. ඊට සහභාගි වන රජ බිසව පවා තනපටි නොබඳියි. සෙසු කාන්තාවෝද තන පටි නොබඳිති. පිරිමි නටන්නේ ඩෙනිම් හෝ ඇමරිකානු ස්පෝට්ස් කලිසම් ඇඳගෙන නොවේ. 




එංගලන්තයේ රජ පවුල ඉංග‍්‍රීසි සංස්කෘතිය ආරක්ෂා කරගැනීමට නොයෙතුත් චාරිත‍්‍ර අනුගමණය කරයි. චාල්ස් කුමරා ඔලිම්පික් උත්සවයට ආවේ සායකින් සැරසි මිස කලිසමකින් සැරසී නොවේ. ස්වාසි රජතුමා රීඞ් උළෙලට ඇඳ සිටි ඇඳුමද එක්තරා සායකි. ඒ ඔවුන්ගේ සාම්ප‍්‍රදායික ඇඳුම්ය.

සුද්දන් මොන සිරිත් අනුගමනය කළත් මෙවැනි ලියන්නෝ ඒවා විවේචනය නොකරති. වැරදි පෙනෙන්නේ බටහිරට ගැති නොවී සිය අනන්‍යතාවය රැකගැනීමට වෙහෙසෙන රටවල්වල හා පුද්ගලයන්ගේ පමණි. ස්වාසිලන්තයේ වාර්ෂික උළෙල ගැන දන්නා කිසිවෙක් මෙවැනි ගොන් කතා නොකියති. ස්වාසිලන්තයේ පමණක් නොව අප‍්‍රිකාවේ තවත් රටවල මීට සමාන සංදර්ශන උත්සව පැවැත්වේ. බ‍්‍රසීලයේ රියෝහි වාර්ෂිකව පැවැත්වෙන කානිවල් උළෙලත් අප‍්‍රිකාවෙන් බ‍්‍රසීලයට ගෙනා වහලූන්ගේ උත්සවයක් මුල් කරගෙන ආරම්භ වූවකි. එහිදීද කාන්තාවන් තන් වසාගෙන නටන්නේ නැත.

‘හිස් මාස්ටර් වොයිස්’ ග‍්‍රැම්ෆෝන් තැටි වර්ගයකි. එහි බල්ලෙකුගේ රුවක් තිබුණි. බල්ලා මාස්ටර් වෙනුවෙන් පෙනීසිටින බව, මාස්ටර්ගේ ශබ්දය නංවන බව එහි තේරුමයි. දැන් ග‍්‍රැම්ෆෝන් නැත. නමුත් ස්වාමියාගේ හඩ නගන අඥානයෝ ලංකාව වැනි රටවල  ඕනෑතරම් සිටිති. 

නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වන්නට මොවුන්ට සාක්ෂරතාවය ඇත. පරංගි ජාන බලපෑම නිසා ජාතිකත්වය නැත.

Tuesday, August 21, 2012

ෆාස්ටර්ලාට කඬේ යන කාලෝ - පැහැදැලි කිරීම


කාලෝ ෆොන්සේකලා කරන්නේ ෆාස්ටර්ලාට කඬේයාම නොවේ නම් ඔවුන්ගේ අභියෝගයට යොහෝවා, යේසුස්, සෙන්ට් බෙනඩික් (නිවාස ආරක්ෂාකරන සෙන්ට්වරයා), සෙන්ට් ඇන්තනීස් (නැතිවූ දේ සොයාදෙන සෙන්ට්වරයා) වැනි නම් ඇතුළත් නොකරන්නේ ඇයි? 

ඔබ අතරින් සමහරකු කියන පරිදි ‘වහෙන් ඔරෝ භාෂාවෙන්’ ඔවුන් ගැන ඉඟිනොකර කෙළින්ම ‘පුළුවන් නම් වරෙව්’ නොකියන්නේ ඇයි.

පුහුණු මිෂනාරියා කටයුතු කරන්නේ රහස් ඔත්තුකරුවෙකු පරිද්දෙනි. බාබු බෝම්බය පත්තුකරන තෙක්ම ඔහු කවුදැයි පේ‍්‍රමදාස ජනාධිපතිවරයා දැනසිටියේ නැත.

එබැවින් කවුරුන් හෝ කොවුර්, ෆොන්සේකා ප‍්‍රමුඛ පිරිසට රැවටීම පුදුමයට කරුණක් නොවේ.

පෙර ලිපියට මෙතනින් යන්න


ප.ලි - 2012.08.31

පසුගිය සඳුදා රාත‍්‍රියේ ‘දොරමඩලාව’ වැඩසටහනට සහභාගිවූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා අපූරු කතාවක් කීවේය. ‘විද්‍යත් උපකරණ, ජංගම දුරකතන, ඩිජිටල් කැමරා, නොයෙකුත් විද්‍යුත් වෛද්‍ය උපකරණ ආදිය ප‍්‍රාතිහාර්යයන් බඳු යයි’ එතුමා කියයි.

ප‍්‍රාතිහාර්ය යනු හේතුවාදයට සපුරා පටහැනි දෙයකි. ෆොන්සේකා මහාචාර්යතුමා ප‍්‍රාතිහාර්ය ගැන කීවේ කුඩාකල සිට බයිබලයෙන් ලද හික්මීම නිසාද? ‘හොරාට කලින් කෙහෙල්කැන වැටපනිනවා’ යි කියන්නේ මේවාටය.

Thursday, August 9, 2012

ෆාස්ටර්ලාට කඬේ යන කාලෝ


ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයේ සිට ලංකාවට සංක‍්‍රමණයවූ ඒබ‍්‍රහම් ටී කොවුර්ට ලංකාවේ පුරවැසිකම ලබාගැනීම පමණක් නොව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගුරු තනතුරක් ලබාගැනීමද එතරම් කජ්ජක් නොවීය. ඒ ඇයිද යන්න මෙය කියවාගෙන යන ඔබට වැටහෙනු ඇත. කොවුර් කලක් කොළඹ තර්ස්ටන් විදුහලේ උද්භිද විද්‍යා ගුරුවරයා වූයේය. ඉන්පසු කලෙක කාලෝ ෆොන්සේකා බඳු කිහිප දෙනෙකු හවුල්කරගෙන හේතුවාදී සංගමය නම් කල්ලිය පිහිටුවා ගත්තේය. සිංහල සංස්කෘතිය සමග බැඳී සිටින කපුරාලලාට, නැකැත්රාලලාට සහ තිස්තුන් කෝටියක් දෙවිවරුන් අදහන බෞද්ධයන්ට නැගිටින්ඩ බැරිවෙන්ඩ දෙන්ඩ පටන්ගත් මෙම කල්ලිය සිංහල සමාජය හොලවමින් මහා විප්ලවයක් කරන්නට විය. අරක්කු බිබී ගිනි පාගා පෙන්වූ මෙම කල්ලියේ පුද්ගලයෝ ඇග කටුගසාගෙන එල්ලී ගුප්ත විද්‍යාවේ බලයක් නැති බව අවධාරණය කළහ. තමා ඉදිරිපත් කරන අභියෝග ගුප්තවිද්‍යාවේ බලයෙන් සිදුකර පෙන්විය හැකි නම් රුපියල් 100,000.00ක තෑග්ගක් දෙන බවට කොවුර් අභියෝගයක්ද කළේය. ඒ 1963 දීය.

පසුගිය කාලයේ මළාක් මෙන් සිටි පරණ හේතුවාදී සංගමය මළවුන්ගෙන් උත්ථානයවී නැවතත් අභියෝග ඉදිරිපත් කරන්ඩ පටන්ගෙන ඇත. කාලෝ ෆොන්සේකා මහාචාර්යවරයා අභියෝග 10ක් ඉදිරිපත් කරමින් ඉන් එක අභියෝගයක් හෝ ඔප්පුකරන්නෙකුට ලක්ෂ 10ක් දෙන බව ප‍්‍රසිද්ධ කර තිබේ. ෆොන්සේකාගේ ආධාරයට මාධ්‍යකරුවන් පමණක් නොව වෙබ් අඩවි කිහිපයක්ද දැනටම ඉදිරිපත්ව සිටී. මොවුන් ගැන අමුතුවෙන් පැහැදිලි කිරීමට උවමනා නැත.


මේ කාලෝ ෆොන්සේකාගේ ගෝලබාලයින් ප‍්‍රසිද්ධ කළ දැන්වීමකි.


‘‘සුමනදාසලාට මංජුල පීරිස්ලට නාථ නඬේට විශ්ව ශක්ති මුදලාලිට කතරගම සුමන දැඩිමුණ්ඩ විෂ්ණු ශිව එකී නොකී තිස්තුන් කෝටියක් තව දුසිමක් විතර වන දෙයියලාට හා උන්ගේ ඒජන්තයින්ට එක එකාගෙන් සීය දෙසීය හිඟා කන්නේ නැතිව මෙන්න එක පාරටම දස ලක්ෂයක්. පුළුවන් නම් වරෙව්.’’


මේ කයිවාරුව සමග ඒ සමග අභියෝග මාලාවද ඉදිරිපත් කර ඇත. ඒ අභියෝගවලින් වැඩිහරියක් උපුටාගෙන ඇත්තේ බයිබලයේ යොහෝවා, මෝසස් හා යේසුස්වහන්සේගේ මැජික් සන්දර්ශනවලිනි. හේතුවාදීන් මහජනතාව මුළාකරමින් සිටින ක‍්‍රිස්තියානි කල්ලිවල ෆාස්ටර්ලා, යොහෝවා, මෝසස් හෝ යේසුස්වහන්සේ ගැන තම නිවේදනයේ සඳහන් නොකිරීමට පරිස්සම් වෙයි. කොවුර්ද ඒ ගැන බොහෝ පරිස්සම් සහිතව වැඩ කළ කෙනෙකි.


කලක් තර්ස්ටන් විදුහලේ ගුරුවරයකුව සිටි දයානන්ද ගුණවර්ධන (නරිබෑනා නිෂ්පාදක) මහතා ගෙන් අප අසා ඇති පරිදි ඔහු කොවුර්ව හඳුනාගෙන සිටියේය. දිනක් කොවුර් හමුවූ වේලේ ’ඔබලාගේ නිවේදනයේ යොහොවාස්, යේසුස්, මෝසස් මේ කාගෙවත් නම් නැහැ නේද?’ යි කොවුර්ට විහිළුවක් කළේය. කොවුර් පිළිතුරක් නොදී මාරු විය.


කොවුර්ලාගේ එදා නිවේදනයට ක‍්‍රිස්තියානි දෙවියන්ගේ හෝ ඉස්ලාම් දෙවියන්ගේ නම ඇතුළත් නොකළේ ඒබ‍්‍රහම් කොවුර් නැමැති පුද්ගලයා මලබාරයේ සිරියානු ක‍්‍රිස්තියානි දේවස්ථානයේ අධිකාරිව සිටි කොවුර් අයිප් තොම්මා කාත්තනාර් පූජකතුමා Rev. Kovoor Eipe Thomma Katthanar, Vicar General of the Mar Thoma Syrian Church  of Malabar ගේ පුතා වූ බැවිනි. කේරලයේ තිරුවිල්ලාහි උපත ලැබු තැන සිටම බයිබලය සමග ජීවත්වූ ඒබ‍්‍රහම්ට ක‍්‍රිස්තියානි දර්ශනයෙන් පිට කිසිවක් අසන්නට දකින්ට නොලැබුණි. ඔහු ක‍්‍රිස්තියානි විදුහල්වලම ඉගෙනගත් අතර ක‍්‍රිස්තියානි පූජක පවුලක කාන්තාවක් හා මිත‍්‍ර වී ඇයව විවාහ කරගත්තේය. ලංකාවේ සියලූම පහසුකම් ඔහු ලබාගන්නේ මලබාර් ක‍්‍රිස්තියානි දේවස්ථානයේ ආධාරයෙන් හා බලයෙනි. කොවුර්ගේ පියා පළමුව කතෝලිකයෙකුව සිටි නමුත් ඔහුගේ ලොකු තාත්තා ඇමරිකාවේදී ආගම මාරුකර ක‍්‍රිස්තියානි මුලධර්වාදී කණ්ඩායමකට එක්වූ අයෙකි. කොවුර් ලංකාවේ ඇසුරු කළ පිරිසද ක‍්‍රිස්තියානි හෝ කතෝලික අයමය. කාලෝ ෆොන්සේකා ඉන් වඩාත්ම ප‍්‍රසිද්ධ පුද්ගලයා වන්නේය.


හේතුවාදී සංවිධානය ගෙනගිය වැඩ පිළිවෙළ නිසා සිංහල සාමාන්‍ය ජනතාව අතරින් විශාල පිරිසකට ඔවුන්ගේ දෙවිදේවතාවියන් කෙරේ සැක ඇති වුණි. බෝධිපූජා පැවැත්වීම බොරු වැඩක් යයි සමහරුන්ට සිතුණි. සමහරෙකුට කපුරාලලා නැකත්රාලලා වැනි අය පෙනෙන්නට වූයේ වංචනිකයින් හොරුන් හෝ තමන්ව මුළාකරන හතුරන් විදිහටය. මෙම සැකය හා විචිකිච්චාව ඇති කරගත් පිරිස් විද්‍යාඥයින් නොවන බව මෙහිදී සඳහන් කළ යුතු වැදගත්ම කාරණාවයි. සාමාන්‍ය ජනයා වූ ඔවුන්ට ජීවිතයට මුහුණදීමේ ශක්තිය සඳහා යම් යම් ගුප්ත කටයුතු අවශ්‍ය විය. 

‘ගුප්ත’ යනු සංස්කෘත භාෂාවේ කෘදන්ත පදයකි. ඇසට නොපෙනෙන යනු එහි අරුතයි. ඉන්ද්‍රීය ගෝචර නොවන බොහෝ දේ පවතී. කුඩා දරුවකු තොටිල්ලේ නිදාගෙන සිනාසෙන අවස්ථා තිබේ. ඒ ඇයි? දරුවා සිනාසෙන්නේ කා සමගින්ද? මෙබඳු සුළු දෙයක් වත් හරියට පහදා දීමට කිසිම උගතෙකුට නොහැක. පවුලේ අයෙකුට දරුණු අසනීපයක් හැදුන විට ජනතාව වෛද්‍යවරුන් හමුවෙති. එසේම බෝධිපූජා පැවැත්වීම, පිරිත් කියවීම, නුල් බැදීම ආදියද කරති. ශාස්තර අසන්ටත් යති. මේ හැම දෙයක්ම කරන්නේ ලෙඩාගේ නිරෝගී බව පතමිනි. සමහර වෛද්‍යවරුන්ද අවසානයේ ලෙඩාගේ ඥාතීන්ට කියන්නේ ගුප්තවිද්‍යාවෙන් යමක් කළ හැකි නම් කරන ලෙසය.

සාම්ප‍්‍රදායික ජීවන ක‍්‍රමයෙන් ඈත්වෙන සාමාන්‍ය ජනතාවට විකල්ප ක‍්‍රියා උවමනා කෙරේ. හේතුවාදීන් කපුවන්ට ගහද්දී පාස්ටර්වරුන් හා ආගමික කල්ලි රටේ පැතිරෙන්නට වූයේ ඒ අවශ්‍යතාවය සපුරමිනි. හේතුවාදී සංගමය සාම්ප‍්‍රදායික ගුප්තවිද්‍යාකරුවන් නිහඩකර තිබුණු නිසා ඇදහිල්ලෙන් ලෙඩ සුව කිරීම් නගරවලත් යාඥා මධ්‍යස්ථාන ගම් දනව්වලත් පැතිරෙමින් අර සිංහල බෞද්ධ පවුල් ඇමරිකානු ආගමික කල්ලිවල ගොදුරු බවට පත්කරන්නට විණි. ෆාස්ටර්ලා පසුපස යන ජනතාවට අවසානයේ සිය ආගම, සංස්කෘතිය යන දෙකම අහිමි විය. සමහර විට ජීවිතයත් අහිමි විය. බෞද්ධයන්ගේ ඇදහිලි සිරිත් විරිත්වලට පහර දෙමින් හැම දේකටම විද්‍යාත්මක හේතුවක් ඇතැයි තර්ක කළ හේතුවාදී සංගමය මේවා දැක දැක කටබලියාගෙන සිටියේය. පාස්ටර්ලා කපටිකම් කරන බව කියා හේතුවාදීන් වැඩ පෙන්නුවේ නැත. මළාක් මෙන් ඇස් පියාගෙන සිටියේය. වෛද්‍යවරයකු වන කාලෝ ෆොන්සේකා යාච්ඥාවෙන් ලෙඩ හොඳ කළ නොහැකි බව කියමින් අභියෝග ඉදිරිපත් කළේ නැත. කොටින්ම මෙහෙම සංගමයක් තිබෙන බවක් වත් රටට දැනගන්නට නොලැබුණි.


මේ අතර පාස්ටර් ආක‍්‍රමණය වැළැක්වීමට වෙහෙසවූ පිරිසක් සිංහල සමාජයේ බිහිවුණි. ඔවුන් අතර භික්ෂුණ් වහන්සේලා ප‍්‍රධාන වූහ. ඒ හැමගේ උත්සාහයේ ප‍්‍රතිඵලයක් හැටියට පාස්ටර්ලා ප‍්‍රමුඛ බටහිර ආගමික කල්ලි සොලොප්පුවට වැටුණි. නැවතත් සිංහල සම්ප‍්‍රදායික ගුප්තවිද්‍යාකාරයෝ එළියට ආහ. ජනමාධ්‍යවල පළවන දැන්වීම්වලින් හා ඒවායෙන් ප‍්‍රචාරය කෙරෙන ගුප්තවිද්‍යා වැඩසටහන්වලින් මේ බව පැහැදිලි වේ.


පරණ හේතුවාදී සංගමය මළවුන්ගෙන් නැගිට අභියෝග ඉදිරිපත් කරන්නට පටන්ගන්නේ මෙවැනි අවස්ථාවකය. 

අපි දැන් සුළු ප‍්‍රශ්නයක් මතුකරමු. ලෝක ජනගහණය සැලකිල්ලට ගනිද්දී ගුප්ත විද්‍යාව විශ්වාස කරන (හේතුවාදීන් හිතන විදිහට මෝඩ හෝ අවිද්‍යාවේ ගැලී සිටින) සිංහල බෞද්ධයන් සංඛ්‍යාව සියයට දශමයක් වත් නැත.

නමුත් බයිබලය හා කුරානය විශ්වාස කරන ඥානවන්ත පිරිස් බිලියන සංඛ්‍යාවක් සිටිති. ඔවුහු බයිබලය ශුද්ධ වූ බයිබලය ලෙස හඳුන්වති. කුරානය ශුද්ධ වූ කුරානය ලෙස හඳුන්වති. බිලියන ගණනක් ඥානවන්ත ලෝක වැසියා මෙම පොත් ශුද්ධ ග‍්‍රන්ථ ලෙස සැලකීම හරිම ගුප්ත කරුණකි. පොතක් ශුද්ධ ග‍්‍රන්ථයක් වශයෙන් සැලකීම විද්‍යාවට පටහැනි දෙයකි. එහෙත් ලෝකයේ වැඩිම උගතුන් වෙසෙන බව කියන ඇමරිකාවේ පවා අධිකරණය හමුවට එන  ඕනෑම වැසියෙකුට (ශුද්ධ වූ ග‍්‍රන්ථයේ) බයිබලයේ අතගසා දිවුරීමට සිදු වේ. හේතුවාදීන්ට මේ වැඩ විකාර වගේ නොපෙනෙන්නේ මන්ද? ඔවුන් උගත් ලෝක ජනතාව කරන අහේතුවාදී වැඩගැන කතා නොකර මෝඩ සිංහල බෞද්ධයන් කරන ගුප්ත වැඩ ගැන අභියෝග කරන්නේ ඇයි?


කාලෝ පොන්සේකලා ප‍්‍රධාන මළවුන්ගෙන් නැගිට්ට හේතුවාදී කල්ලියේ අවශ්‍යතාව වී ඇත්තේ හැති දමමින් සිටින ෆාස්ටර්ලාට ග්ලූකෝස් දී ඔවුන්ගේ ක‍්‍රියාපිළිවෙළ තේරුම් ගැනීමට ඔබේ බුද්ධිය සුළු ප‍්‍රමාණයක් යෙදවීම ප‍්‍රමාණවත්ය. අවදි වූ සිතින් යුතු ඔබේ යුතුකම සිංහල බෞද්ධයන් අතරට නොයෙකුත් උපයා මාර්ග ඔස්සේ වැරදි අදහස් සපයන මෙබඳු සංවිධාන, පුද්ගලයන් හා ඔවුන්ගේ උපායන් ගැන ජනතාවට කරුණු කියාදීම යයි සිතමු.


ප.ලි - 2012.08.31

පසුගිය සඳුදා රාත‍්‍රියේ ‘දොරමඩලාව’ වැඩසටහනට සහභාගිවූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා අපූරු කතාවක් කීවේය. ‘විද්‍යත් උපකරණ, ජංගම දුරකතන, ඩිජිටල් කැමරා, නොයෙකුත් විද්‍යුත් වෛද්‍ය උපකරණ ආදිය ප‍්‍රාතිහාර්යයන් බඳු යයි’ එතුමා කියයි.

ප‍්‍රාතිහාර්ය යනු හේතුවාදයට සපුරා පටහැනි දෙයකි. ෆොන්සේකා මහාචාර්යතුමා ප‍්‍රාතිහාර්ය ගැන කීවේ කුඩාකල සිට බයිබලයෙන් ලද හික්මීම නිසාද? ‘හොරාට කලින් කෙහෙල්කැන වැටපනිනවා’ යි කියන්නේ මේවාටය.

Friday, July 27, 2012

‘පැණි වළලූ’, ‘බූන්දි’ සහ ‘ගල් බනිස්’

ධම්මික ගංගානාත් දිසානායක යනු කියවීමේ රුචිය වඩවන ලෙස යමක් ලිවීමට හැකියාව ඇත්තෙකි. ඒ බව ඔහු විසින් රචිත ඈත-මෑත ලියමන් පරීක්ෂා කිරීමේදී පැහැදිලි වේ. මෑතකදී ඔහු පළ කළ ‘පැණි වළලූ’ පොත ඔහුගේ ලේඛන හැකියාව ඔප්පු කිරීමට සමත් මෑතකාලීන සාක්කියකි. පොතේ සාප්පු හිමියන්ගෙන් ලැබෙන තොරතුරුවලට අනුව ‘පැණි වළලූ’ මේ කාලයේ වැඩියෙන්ම විකිණෙන පොත් අතර ඉදිරියෙන්ම සිටී. 


‘පැණි වළලූ’ පොත පළවීමත් සමඟ විචාරකයෝත් විවේචකයෝත් ඉදිරියට ආහ. පක්ෂ විපක්ෂ බේදයකින් තොරව බොහෝ මාධ්‍යයන්හි නිලමක්කාරයෝ ‘පැණි වළලූ’වල ගුණ කියන්නට ඉදිරිපත්වූහ. ‘පැණි වළලූ’ පිළිබඳව හැඳින්වීමක් නොකළ, විවේචන සාකච්ඡා ආදිය පළ නොකළ මාධ්‍යයක් නැති තරම්ය. 


මේ නයින් බලන කල, ‘පැණි වළලූ’ යනු සාකච්ඡා කිරීමට මාතෘකා කීපයක් අප හමුවේ තබන සාධකයකි.


පළමුවැන්න නම් මේ රටේ පොත් විකිණීමට නොහැකිය, මේ රටේ මිනිසුන් පොත් කියවීමෙන් බැහැරවී ඇත යන අදෝනා පුස්සක් බව ‘පැණි වළලූ’ අපට කියාදෙයි. කියවීමට හැකි පොතක් පළවන්නේ නම්, ඒ පිළිබඳ ප‍්‍රමාණවත් ප‍්‍රචාරයක් කෙරෙන්නේ නම් අපේ පාඨකයන් එය සාදරයෙන් පිළිගන්නා බවට ‘පැණි වළලූ’ සාක්කි දරයි. මොකාක් හෝ රචනාවක් පොතක් ලෙස පළ කර ලේඛක ලේඛිකාවන් වන්නට උත්සාහ කරන නෝනාවරුන්ට හා මහත්වරුන්ට ‘පැණි වළලූ’ත් හොඳ විරේකයකි.


අපේ රටේ තරම් ලේඛක ලේඛිකාවන් පිරිසක් ලෝකයේ වැඩිම ජනතාවක් වෙසෙන චීනය වැනි රටවලවත් අපේ රටේ තරම් ලේඛක ලේඛිකාවන් පිරිසක් සිටින්නේ දැයි සැක උපදවන තරමට මෙහි ලේඛක ලේඛිකාවෝ පහළ වෙති. ‘ලේඛකයකු වෙන්නට ඇති පහසුම මාර්ගය ළමා පොතක් ලිවීමයි’ වැනි අදහස් දරන මහාචාර්යවරුන් වෙසෙන රටක, ළමා මනස දූෂණය කරන කුනුකන්දල් හොඳ පොත් ලෙස අනුමත කර මුද්‍රණ ආධාර දෙන ‘ජාතික ග‍්‍රන්ථ සංවර්ධන මණ්ඩලය’ වැනි රාජ්‍ය ආයතන ඇති රටක, වෘත්තීය වශයෙන් අන්ත දිළිඳු පොත් ප‍්‍රකාශන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක රටක මෙබඳු ලේඛක ලේඛිකාවන් ගොන්නක් බිහිවීම අරුමක් නොවේ. එහෙයින් මේ රටේ සාහිත්‍යයේ අභිවෘද්ධිය ගැන හැඟීමක් ඇති කිසිවකු සිටීනම් වහාම කළ යුතු කාර්යය වන්නේ පොත් ප‍්‍රකාශන ක්ෂේත‍්‍රය වෘත්තීය මට්ටමට දියුණු කිරීමයි. සරලව කියන්නේ නම් පොතක් වශයෙන් පළ කළ යුතුම දෙයක් පමණක් පොතක් වශයෙන් පළ කිරීමේ වැඩසටහනක් ඇරඹීමට පදනම දැමීමයි.


‘පැණි වළලූ’ පොතට මෙතරම් ප‍්‍රචාරයක් ලැබුණේ ඇයි? එය ලංකාවේ මෑතකදී පළ වුණු ඉතාමත්ම වටිනා පොත නිසාද? අපට හැගෙන හැටියට නම් ‘පැණි වළලූ’ එබඳු පොතක් නොවේ. එය කියවීමේ රුචිය වඩවන පොතකි. එහෙත් එය මහාර්ඝ ග‍්‍රන්ථ රත්නයක් නොවේ. එසේ නම් ඊට මෙතරම් ප‍්‍රචාරයක් ලැබුණේ ඇයි? එකක් ගංගානාත් දිසානායක සහ ඔහු වටා සිටින පුද්ගලයන්ගේ ප‍්‍රචාරක හැකියාවයි. අනෙක මාධ්‍ය ආයතනවල සිටින වන්දිබට්ටයන්ගේ දීනකමයි. මේ රටේ හැම අවුරුද්දකම පාහේ කතාබහට ලක් විය යුතු පොත් කීපයක් වත් පළ වේ. නමුත් ඒවා පිළිබඳව සමාජයට කියන්නට ඉදිරිපත් වන පුද්ගලයන් දකින්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි. 


කලකට පෙර නම් හොඳ පොතක් පළ වූ විට එය මිලදීගෙන කියවා බලා ඒ පිළිබඳ විචාර පුවත්පත් මඟින් ඉදිරිපත් කළ විචාරකයෝත් පුවත්පත් පිටු සංස්කාරකයෝත් සිටියහ. අදද එබඳු පුද්ගලයෝ ඉතා කලාතුරකින් දැකිය හැකිය. නමුත් බොහෝ විට දකින්නට ලැබෙන්නේ ප‍්‍රවීණ ලේඛකයන් පවා තමන්ගේ පොත් පිළිබඳ ප‍්‍රචාරයක් ලබාගැනීමට පුවත්පත්වල වැඩ කරන චුක්කිනියන් පසුපස කන්කෙඳිරිගාමින් යාමට සිදුව ඇති තත්වයකි. බොහෝ පුවත්පත්වල සාහිත්‍ය පිටුවල කටයුතු කරන්නන්ට පොතක් කියවා විවේචනයක් කිරීමට තරම් හැකියාවක් නැත. අඩුම තරමින් ඉතා කෙටි හැඳින්වීමක් ලියාගැනීමටවත් හැකියාවක් නැත. ඔවුන්ට කළ හැක්කේ ලැබෙන පොතේ පෙරවදනින් හෝ පසුවදනින් කෑල්ලක් උපුටා දැමීම පමණකි. මේ සඳහා නිදහසට හේතු වශයෙන් ඔවුන් දක්වන හේතු ගණනාවකි. 


‘‘පොත් අරන් විවේචන දාන්න අපට පිස්සු නෑ.’’


‘‘පොත් අරන් විවේචන දාන්න අපට සල්ලි නෑ.’’


‘‘කියවන්ඩ වෙලාවක් නෑ.’’


‘‘පොතක් ගැන විවේචන ලියවගන්න කෙනෙක් නෑ. ලියල එව්වොත් දාන්නම්.’’


‘‘පිටුවෙ එච්චර ඉඩ නෑ.’’


‘‘අහවලා කැමති නෑ. මගේ ජොබ් එකත් ගහල යයි.’’


පුවත්පත්වල තමන්ගේ කල්ලියේ හිතවත් බලවතකු සිටී නම් හෝ පත්තරකාරයින්ට පඩුරුපාක්කුඩම් දොළපිදේනි පුදපූජා පවත්වන්නේ නම් තත්වය වෙනස් වේ. එවිට  ඕනෑම කසිකබල්පොතක් පිළිබඳව හොඳ ප‍්‍රචාරයක් ලබාගත හැකිය. මාර්ටින් වික‍්‍රමසිංහ  ඇතුළු කල්ලිය බලවත්ව සිටි කාලයේ ඔවුන්ගෙන් බැටකෑ ඩබ්ල්යු. ඒ. සිල්වා වසරක් පතා පත්තරකාරයින්ට ‘සංග‍්‍රහයක්’ පැවැත්වූ බව තතු දන්නෝ කියති.
විපක්ෂයට සම්බන්ධ ලේඛක ලේඛිකාවන්ට අපේ රටේ රාජ්‍ය මාධ්‍යයන්හි ප‍්‍රචාර ලැබෙන්නේ කෙසේද යන්න පිළිබඳව අමුතුවෙන් සටහන් ලිවිය යුතු නැත. නමුත් ‘පැණි වළලූ‘ ඒ කඩඉමද පැනගත්තේය. ඒ කෙසේද? ගංගානාත් දිසානායක එජාප නායක රනිල් වික‍්‍රමසිංහයන්ගේ සමීපතමයෙකි. විශ්වවිද්‍යාල තනතුරු ඉනිමගේ ඉහළට එන්නට ඔහුට උපකාර වුණේ ඒ සමීපකම බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ගවලින් පැවසෙයි. රනිල් යනු බොහෝ දුරට මේ රටේ ඊළඟ නායකයාය. එබඳු පුද්ගලයන් වටා සිටින්නන්ගේ හොරි කැසීම අනාගතයේ කරල පැහෙන වැඩක් බව මාධ්‍ය ඔස්තාර්ලා දනිති. නැව ගිලෙන විට පනින්නට තැනක් කෙරෙහි ඇසගසාගෙන සිටීමේ ඉව මීයන්ට තිබේ.


‘පැණි වළලූ’ පොතට ලැබුණු අන්දමේ ප‍්‍රචාරයක් මේ රටේ පළ වන වටිනා පොත්වලට දෙන්නට මාධ්‍යකරුවන්ට හැකියාවක් නැත්තේ ඇයි? මෙය මේ රටේ කමකට ඇති පොත් පළ කරන ලේඛක ලේඛිකාවන් මාධ්‍යකරුවන්ගෙන් ඇසිය යුතු ප‍්‍රශ්නයකි. පොත් කියවීමෙන් මේ රටේ මිනිසුන් දුරස්ව ඇති බව කීම මෙන්ම පොත්වලට මාධ්‍යවලින් ප‍්‍රචාරයක් දිය නොහැකිය යන්නද මිත්‍යාවක් බව ‘පැණි වළලූ’ අපට පෙන්වා දෙයි.


‘පැණි වළලූ’ පොතට ලැබුණු ප‍්‍රචාරයත් සමඟ විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලවල සමහරු කුලප්පු වූහ. 


‘‘ ඕවද විශ්වවිද්‍යාල මහාචාර්යවරු ලියන පොත්? කෝ ශාස්ත‍්‍රීය පර්යේෂණ’’


‘‘ ඕකා හොර උපාධිකාරය.’’


ගංගානාත් දිසානායකට එල්ල වන චෝදනා එසේය. චෝදනාවලින් බහුතරයක් එල්ල කරන්නේ ගංගානාත්ට ලැබුණු ප‍්‍රසිද්ධිය ඉවසාගන්නට බැරිකම නිසාය. මේ චෝදනාකරුවන්ගෙන් බහුතරයකට එබඳු චෝදනා එල්ලකිරීමේ සදාචාරාත්මක අයිතියක් නැත. ඒ  ඔවුන්ද විශ්වවිද්‍යාල නරාවළේ ජරාව කප්පරක් ගිල ඇති පුද්ගලයන් වන හෙයිනි. ඇතැම් ඇදුරන්ගේ චෝදනාවේ එක්තරා ඇත්තක් තිබේ. එනම් ඇතැම් විශ්වවිද්‍යාල ඇදුරන්ගේ ශාස්ත‍්‍ර හීනතාවයි. 


ගංගානාත් දිසානායක බලධරයන්ගේ ආශීර්වාදය ලබා, සාමාන්‍යයෙන් ලැබෙන අධ්‍යයන නිවාඩුව වන වසර 2 වසර 4ක් දක්වා දීර්ඝ කරගෙන ජපානයේ පිස්සු කෙලමින් ඉඳ, ජපන් භාෂාවෙන් ලියා තිබුණු සහතිකයක් රැගෙන වත් ආචාර්ය උපාධිය ලෙස පෙන්වා විශ්වවිද්‍යාලය මුළා කළ බවට එක් චෝදනාවකි. ගංගානාත්ගේ ආචාර්ය උපාධි නිබන්ධය නීල් ලකී ක‍්‍රිස්ටෝපර් ලියූ එකක් බවට තවත් චෝදනාවකි. ජපන් සහතික කතාව ඇත්තක් නම්, එහි පරිවර්තනයක් ගෙන්වා ගන්නට වත් මොළයක් නැති විශ්වවිද්‍යාල නිලමක්කාරයන් ගැන හිතා ගත හැකිය. ගංගානාත් දිසානායක සේවය කරන ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉහළ පටන් පහළට වාර්තා වන ශාස්ත‍්‍ර වංචා දෙස බැලූ විට මේවා සාමාන්‍ය දේවල් යයි තර්ක කිරීමටද පුළුවන.


ජපුරේ ඉහළම පුටුවේ ඉන්නා මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආචාර්ය උපාධි නිබන්ධය වෙනත් හිමි නමක් ලියූ එකක් යයි කියති. සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ශාස්ත‍්‍රීය සොරකම් පිළිබඳව පොත් පවා පළ වී තිබේ. පූජ්‍ය කිවුලේගෙදර නාරද හිමියන් විදුරුපොල නාහිමියන්ගේ ශබ්දකෝෂයේ සංස්කාරක වශයෙන් හොර ලේබල් එල්ලාගත් අයුරු පුවත්පත්වල පළ විය. ලංකාවේ ආචාර්ය මහාචාර්යවරුන් කූපමණ්ඩුකයන් යයි කියා හතර අතට පහර දෙන මහාචාර්ය සුචරිත ගම්ලත් පැරණි උගතුන්ගේ පොත් ගෙඩිපිටින් කොල්ලකා ඇති අන්දම නුගේගොඩ ‘මොඩර්න්’ පොත් ප‍්‍රකාශන හිමිකරුගෙන් විමසූ විට දැනගත හැකිය. වර්තමාන විශ්වවිද්‍යාල උගතුන් පැරණි පුවත්පත් සඟරා ආදියේ ලිපි කොල්ලකා පොත් හා ලිපි පළ කර ඇති ආකාරය පසුගිය කාලයේ පුවත්පත්වල පළ විය.


විශ්වවිද්‍යාල උගතුන්ට වඩා අද පර්යේෂණ කරන බවක් පෙනෙන්නේ බාහිර පුද්ගලයන්ය. ‘අපට කරන්න පර්යේෂණ නෑ. සේරම පරණ කට්ටිය කරලනෙ. ඔය හැටි පර්යේෂණ කරන්න දේවල් තියෙනවයැ?’ මේ පිළිබඳව විමසූ විට විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් කීය. විශ්වවිද්‍යාලවල ශාස්ත‍්‍රීය කාර්යයන් පිළිබඳ යමක් කීම පසුවට තබමි. 


ගංගානාත් දිසානායක ශාස්ත‍්‍රීය පොත්ම පළ කළ යුතු යයි නියමයක් නැත. විශ්වවිද්‍යාල ඇදුරන් සාමාන්‍ය ජනතාවට කියවිය හැකි දෙයක් පළ කිරීම සාධනීය කරුණකි. එය ලේඛකයාගේ පැත්තෙන් මෙන්ම පාඨකයාගේ පැත්තෙන්ද ගත් කල යහපත් ක‍්‍රියාවකි. එහෙත් ගංගානාත් දිසානායකගේ ශාස්ත‍්‍රීය ව්‍යායාමයන් වැදගත් වන්නේ ඔහු මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ වැදගත් නිලයක් හොබවමින් මේ රටේ අනාගතයට බලපෑම් කළ හැකි කණ්ඩායමක නායකත්වය හොබවමින් ඉන්නා නිසාය. අඩුම තරමින් ඔහුට තම පොතට (පුවත් පත් තීරු ලිපියට - මෙය පුවත්පත් තීරු ලිපි එකතුවකි.) ගැලපෙන නමක් වත් හිතාගන්නට ඔහුට හැකිවක් තිබී නැත. අපගේ විනිශ්චයට අනුව නම් නම කොපියකි. ‘බූන්දි’ බෙව් අඩවිය කොපි කිරීමකි. ‘බූන්දි’ යනු පැණි වළලූ විශේෂයකි. නමුත් ‘බූන්දි’ පුවත්පත් පාඨකයන් අතර එතරම් ජනප‍්‍රිය නැත. එනිසා ‘පැණි වළලූ’ නම දුටු විට ඔවුන්ට ‘බූන්දි’ සිහි නොවේ.


මේ සියල්ල අපට සිහි කරන්නේ ‘ගල් බනිස්’ හෙවත් ‘බැරිම තැන’ය. බේකරිවල ඉතිරිවන පාන්, බනිස් සියල්ල එකතුකර කුඩුකර අනා ගල් බනිස් නිපදවේ. මෙය ඉතා බර ආහාරයකි. එකක කෑ විට පැය ගණනකට කුසගින්න පළායයි. ‘බැරිම තැන’ යන නම ඊට යොදා ඇත්තේ එහෙයිනි. ‘ගල් බනිස්’ හදන ආකාරය ඒවා කන බොහෝ දෙනා දනිති. අද බොහෝ විශ්වවිද්‍යාල ඇදුරන්ද (මාධ්‍යකරුවන්ද) ‘ගල් බනිස්’ හෙවත් ‘බැරිම තැන’ බඳුය. විශ්වවිද්‍යාල ‘ගල් බනිස්’වලට ‘බැරිම තැන’ යන නම යෙදි ඇත්තේ, වෙනකෙකු හොයා ගන්නට ‘බැරිම තැන’ සහ විවිධ බලපෑම් නිසා වෙනකෙකු ගන්නට ‘බැරිම තැන’ ඔන්න ඔහේ පත්කරගෙන ඇති නිසාවෙනි. 



අපේ විශ්වවිද්‍යාල නමැති හෝටල හමූහයේ සීනි බනිස්, ටී බනිස්, කිඹුලා බනිස් සමග ගල් බනිස් මෙන්ම ඉතා ඉහළ පෙළේ කේක්ද විකිණීමට ඇත. ඉතිරිවන කේක් බනිස් ආදියෙන් ගල් බනිස් සෑදිය හැක. ඉතිරි වන ගල් බනිස්වලට කළ හැක්කේ ඌරන්ට දැමීම පමණි. 


මේ සියල්ලේ අවසාන ප‍්‍රතිඵලය විශ්විද්‍යාල අධ්‍යාපනය ‘බඩු බනිස්’ වීමයි.


Sunday, July 22, 2012

සංගක්කාරට අම්මා මතක් කර දෙමු


කුමාර් චොක්ෂානද සංගක්කාර අපට සිටින දක්ෂ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකි. වාර්තා තබමින් ක‍්‍රිකට් ලෝකයේ නම රැන්දූවෙකි. ක‍්‍රිකට් ක‍්‍රීඩාවට වඩා සංගක්කාර පහුගිය වසරේ ජුලි 4 වැනිදා MCC Spirit of Cricket Cowdrey  දේශනය පැවැත්වීමෙන් මුළු ලෝකයේම ඇගයීමට ලක්විය. එම දේශනය පැවැත්වූ එකම ශ‍්‍රී ලාංකිකයා ඔහුය. වයසින් අඩුම පුද්ගලයා ඔහුය. ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ නිරතව සිටිමින් එම දේශනය පැවැත්වූ එකම පුද්ගලයාද ඔහුය. දෙසුම අවසානයේ ලෝඞ්ස් පරිශ‍්‍රයේ දේශනය ඇසූ සියල්ලෝම අසුන්වලින් නැගිට සංගක්කාරට ප‍්‍රසාදයත් ගෞරවයත් පළ කළහ. ඩෙස්මන්ඞ් ටුටූ බිෂොප්තුමාට පසු, මේ දේශනය පැවැත්වීම නිසා එබඳු පිළිගැනීමක් ලද පුද්ගලයා සංගක්කාර යැයි පැවසේ. එහෙයින් සංගක්කාර යනු එසේ මෙසේ පුද්ගලයෙක් නොවේ. අන්තර්ජාතික තලයෙන් ගත් කල අපේ රටේ බොහෝ ඇමතිවරුන්ටවත් සංගක්කාරට ඇති පිළිගැනීම නැතැයි කිව හැකිය.


මේ සියලූ කරුණු එක්ව ගත් කල සංගක්කාර වනාහි ලෝක පූජිත පුද්ගලයෙකි. එබඳු පිළිගැනීමක්, ඇගයීමක් ලැබෙනුයේ කලාතුරකින් කෙනෙකුට පමණි. මෙවැනි කීර්තිමත් පුද්ගලයන්ට සමාජයට කළ හැකි බලපෑම විශාලය. ව්‍යාපාරිකයන් පන්නපන්නා ගොස් සංගක්කාර වැන්නවුන් කුලියට ගෙන ප‍්‍රචාරක දැන්වීම් නිපදවා සිය භාණ්ඩ පිළිබඳව ජනතාවට රෙකමදාරු කරවන්නට වෙහෙසෙන්නේ එහෙයිනි.


තමන් ලබා ඇති කීර්තිය නිසාම සංගක්කාරට වෙළෙඳ භාණ්ඩ කීපයක් ප‍්‍රචාරය කිරීමේ අවස්ථාව ලැබී ඇත. මේ දිනවල සංගක්කාර වැඩි වශයෙන්ම නිර්දේශ කරන්නේ ‘විවා මොල්ටඞ් මිල්ක්’ හා ‘ඇනිලින් කිරිපිටි’ය.
ඇනිලින් වනාහි ‘ෆොන්ටේරා’ කිරි නිශ්පාදන දැවැන්තයාගේ නිපයුමකි. ෆොන්ටේරා සමාගම පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක් වුණු ‘චීන කිරිපිටි මගඩියේ’ කොටස්කාරයෙකි. තත්පර 20කට එක බැගින් නවසීලන්තයේ කෙරෙන අසරණ වසුපැටවුන් අමුඅමුවේ මස් පිණිස සංහාරය කිරීමේ ඝාතක කල්ලියේ සාමාජිකයෙකි.


කාට වුවද කැල්සියම් අවශ්‍යතාවක් තිබේ නම් කිරිපිටි බී එය සපුරාගැනීමේ අවශ්‍යතාවක් නැත. බොහෝ කිරිපිටි නිපදවෙනුයේ ගවයින්ගේ කිරිවලිනි. ලෝකයේ කොයි එළදෙනගේ කිරි වුවද බොහෝ දුරට එක හා සමානය. ගන්නා කෑමබීම, දේශගුණය, ජාන බලපෑම ආදිය නිසා දෙනුන්නේ කිරිවල යම් යම් වෙනස්කම් තිබිය හැකිය. එහෙත් අධිකැලිසියම් සහිත කිරි දොවාගත හැකි දෙනුන් නම් නැත. කිසියම් කිරිපිටි වර්ගයක කැල්සියම් ප‍්‍රමාණය අධික නම් අනිවාර්යයෙන්ම ඒ කෘති‍්‍රම ලෙස එක්කරන ලද කැල්සියම් විය යුතුය. සිරුරට අවශ්‍ය කැල්සියම් ලබාගැනීමට ග‍්‍රෑම් එකක් රුපියල බැගින්දී ඇනිලින් බීමට අවශ්‍ය නැත. ගමේ ඩිස්පැන්සරියේ දොස්තර මහතාට කී විට ඩිස්පැන්සරියේ පෙති තිබේ නම් නොමිලයේම හෝ නැතිනම් සුළු මුදලකට ෆාමසියෙන් හෝ ලබාගත හැකිය. ඒ සඳහා අහවල් එක බොන්න අහවල් එක බොන්න යයි කියමින් ජනතාව මුලාකර මිලියන ගණනින් මුදල් හම්බ කිරීම මහත්මයෙකුට තරම් නොවන බව තේරුම් ගන්නට මේ කිර්තිමත් දේශකයාට නොහැකිවීම කනගාටුවට කරුණකි.


විවා මෝල්ටඞ් මිල්ක් ජනප‍්‍රිය කරවීම සඳහා සංගක්කාර කුලියට කරන ප‍්‍රකාශ අපගේ හිත් බලවත් සේ කම්පාකිරීමට සමත් විය. සංගක්කාර කියන්නේ ඔහුගේ සියලූ ජයග‍්‍රහණ පිටුපස සිටිමින් ඔහුට ජවය ශක්තිය දුන් ‘ශ‍්‍රියා කාන්තාව’ ‘විවා’ බවයි. 


‘ශ‍්‍රියා කාන්තාව’ වනාහි හින්දු දේව සංකල්පවල එන සුරංගනාවකි. අප දන්නා පරිදි සංගක්කාරට ජවය ශක්තිය දුන් සැබෑ සුරංගනාවක් සිටියි. ඒ කුමාරි සුරංගනා නමැති සංගක්කාරගේ මවයි. එතුමිය වෙළඳ සමාගම්වල ප‍්‍රචාරයට අසුවී පියයුරු වැහැරෙතැයි බියෙන් සංගක්කාරට මව් කිරි නොදුන් තැනැත්තියකැයි අපි නොසිතමු. අපට හැගෙන පරිදි නම් සංගක්කාරගේ බලය, ජවය, ශක්තිය පිණිස පදනම වැටෙන්නට ඇත්තේ මව් කිරෙන් හා ජාන බලයෙනි. සංගක්කාරගේ මව වෙළෙඳ ප‍්‍රචාරයට අසුවී සංගක්කාරට මව් කිරි නොදී කිරිපිටි පෙව්වා නම් ඔහුට ඔය ජවසම්පන්න බව නොලැබෙනු නියතය. අඩුම තරමින් සංගක්කාරගේ නිවෙසේ ‘විවා මෝල්ටඞ් මිල්ක්’ බෝතලයක් වත් ඇත්දැයි සැක සහිතය. සංගක්කාර වැනි ක‍්‍රීඩකයකුට ශක්තිය සැපයීමට විවා බඳු බාල මෝල්ට් වීදුරු දෙකතුනකට නොහැකිය.


අපේ සංස්කෘතියේ කිසියම් පුද්ගලයකුට ඇති වටිනාම වස්තුව වශයෙන් සැලකෙන්නේ මවයි. බුදුන් වහන්සේ හැඳින්වීම සඳහා ‘අමාමෑණියන්’ වහන්සේ යනුවෙන් භාවිතා කරන්නේ එහෙයිනි. අප ජිවත් වන මහපොළව හැඳින්වීමට ‘මහපොළෝ මාතාව’ යන්න භාවිතා කරන්නේ එහෙයිනි. කරදරයකදී වෙනත් ජාතීන්ගේ මුවෙන් පිටවන, ආණ්ඩවනේ, දෙයියනේ, අල්ලා, මුරුගා, කඩවුලේ වෙනුවට සිංහලයන්ගේ මුවෙන් ‘අම්මේ’ හඬ නිකුත් වන්නේ එහෙයිනි.


මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් වෙළෙඳ දැන්වීමකට පෙනී සිට සංගක්කාර කරන මේ ප‍්‍රකාශය මව කෙළෙසීමකි. ජනතාව ගොනාට ඇන්දවීමක් පමණක් නොව සමාජයට මාතෘත්වය පිළිබඳ වැරදි අර්ථකථනයක් කාන්දුකිරීමකි. 


සංගක්කාර බඳු කීර්තිමත් පුද්ගලයන් සමාජය සමඟ කරන ගනුදෙනු පිළිබඳව මීට වඩා සැලකිලිමත් විය යුතුය. ජීවිත කාලයටම එකම එක වටිනා දැන්වීමකට නොමිලේ පෙනීසිටි අර්ජුන රණතුංග, නීලා වික‍්‍රමසිංහ ආදීන් ආදර්ශයට ගන්නට සංගක්කාර වැන්නවුන්ට හැකිවේවා. 

Tuesday, July 17, 2012

කලාකරුවාගේ හෘදසාක්‍ෂිය


සමාජයට මතවාද ඇතුළත් කර ජනතාවගේ සිතුම්පැතුම් ආකල්ප ආදියෙහි විපර්යාස ඇති කරන පිරිසක් සිටිති. මාධ්‍යවේදීහු, ලේඛකලේඛිකාවෝ, නළු නිළියන් ගායක ගායිකාවන් ඇතුළු විවිධ ක්ෂේත‍්‍රයන්හි නිරත කලාකරුවෝ ආදීහු ඒ අතර වෙති. ඒ අතරින් නළු නිළියන්, ගායක ගායකගායිකාවන් බඳු ‘තරු’ සමාජයට කරන බලපෑම විශාලය. ඒ යම් යම් හේතු නිසා සෙසු පිරිසට වඩා සමාජ ආකර්ශනයක් ඔවුන්ට ඇති බැවිනි.

කලාකරුවන් සතුවිය යුතු වගකීම කුමක්දැයි අපේ බොහෝ කලාකරුවන් අවබෝධ කොටගෙන නැතිබවක් පෙනේ. කලාකරුවන්ගේ සමහර ක‍්‍රියාකලාපයන් හේතුවෙන් විශේෂයෙන් ඔවුන් කලාව භාවිතා කරන ආකාරය හේතුවෙන් සමාජයට සිදුවන්නේ විශාල හානියකි. එහෙයින් කලාකරුවකු සතු වගකීම පැහැදිලි කෙරෙන එක්තරා කලාකෘතියක් පිළිබඳ මේ කෙටි සටහන තබමි.

ඈන් ෆයින්ගේ ‘ඒලියස් මැඩම් ඩවුෙෆයර්’ නවකතාව අනුසාරයෙන් රැන්ඩි මෙයිම් සිංගර් හා ලෙස්ලි ඩික්සන් තිරනාටකට ලියා ක‍්‍රිස් කොලූම්බුස් අධ්‍යක්ෂණය කළ, ‘මිසිස් ඩවුට්ෆයර්’ (1993) රොබින් විලියම්ස්, මාර්ෂා ගාර්ෂස් විලියම්ස් හා මාක් රෙඞ්ක්ලිෆ් නිෂ්පාදනය කළ ප‍්‍රහසන චිත‍්‍රපටයකි. මේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයට පනපොවන්නේ ද රොබින් විලියම්ස්ය. කතාවට අනුව ඔහු පනදෙන චරිතය කටහඬ ශිල්පියෙකුගේය. ඔහුගේ චරිතය අපූර්ව එකකි. චිත‍්‍රපටයද අපූර්වය. ලොවපුරා විචාරකයන්ගේ ප‍්‍රශංසාවට පාත‍්‍ර වූ එය විලියම්ස්ගේ රඟපෑමේ කුසලතා පිළිබිඹු කරන හොඳම නිදසුනක් ලෙස හැඳින්වේ. එහෙත් ඒ සියල්ල මෙහිලා විස්තර කළනොහේ. මෙය චිත‍්‍රපට විචාරයක් නොවන හෙයිනි.

චිත‍්‍රපටයේ එක් අවස්ථාවක කටහඬ ශිල්පියා දරුවන් සඳහා වන කාටුන් චිත‍්‍රපටයකට හඩකවමින් සිටී. එහි නරියකු ගිරවකුගේ කටෙහි සිගරැට්ටුවක් ඔබන දර්ශනයක් තිබේ. කාටූනයෙන් පෙනෙන්නේ ගිරවා මහත් රුචියෙන් සිගරැට්ටුව උරන බවයි. එහෙත් කටහඬ ශිල්පියා කහින්නට පටන්ගනී. මේ මොහොතේ කාටුන් චිත‍්‍රපටයේ අධ්‍යක්ෂවරයා ‘මොනවද ඔය කරන්නේ?’ යි අසයි. ‘මම කරන්නේ සිද්ධවෙන දේයි’ කටහඬ ශිල්පියා කියයි. එවිට අධ්‍යක්ෂවරයා ‘පිටපතට අනුව කටයුතු කිරීමට’ කටහඬ ශිල්පියාට නියෝග කරයි.

‘‘මම පිටපතේ තියෙන දේ කිව්වොත් මේ කාටූනය නරඹන ලක්ෂ ගණන් දරුවන් සිගරැට් බීම ඉතාම තෘප්තිමත් දෙයක් කියලා හිතයි’’ කටහඬ ශිල්පියා පිළිතුරු දෙයි. ‘‘මේ කාටූනය ලක්ෂ ගණනක් වියදම් කරලා කරන වැඩක්. පිටපතේ තියෙන දේ කියන්න බැරිනම් රස්සාව දාලා ගෙදර යන්න පුළුවනි.’’ අධ්‍යක්ෂවරයා කෝපයෙන් නියෝග කරයි. සිනහවකින් මුව සරසාගන්නා කටහඬ ශිල්පියා රැකියාව අතහැරදා ගෙදර යයි. (චිත‍්‍රපටයට අනුව රැකියාව අහිමිවීම නිසා ගැටලූ රාශියකට මුහුණදී විවාහ ජීවිතය පවා කඩාකප්පල් කරගන්නා කටහඬ ශිල්පියා අවසානයේ සිය හැකියාව නිසාම සාර්ථක පුද්ගලයකු බවට පත්වෙයි.)

අපේ කලාකරුවන් ගාලූමුවදොර පිටියට රැස්කරවා මේ චිත‍්‍රපටිය නැරඹීමට සැලැස්විය හැකි නම් අපූරුය.  

වර්තමානයේ අපේ සමාජයෙහි මේ ආකාරයෙන් තම වගකීම පිළිබඳ අවබෝධයෙන් හිතට එකඟව කටයුතු කරන කලාකරුවෝ කීදෙනෙක් සිටිත්ද? එදා පටන් අද දක්වා කලාව නිසා සමාජයට සිදුවූ අහිතකර බලපෑම් පිළිබඳව නම්  ඕනෑ තරම් නිදර්ශන පෙන්නාදිය හැකිය.


මේ චිත‍්‍රපටය පිළිබඳව ලෝකයේ බොහෝ රටවල විචාරකයෝ ගණනාවක් විචාර විවේචන කළහ. ඒ හැම එකකින්ම පාහේ පැවසුණේ රොබින් විලියම්ස්ගේ විටක රංගන හැකියාව පිළිබඳවයි. (අප ඇස නොගැටුණු ඊට පටහැනි විචාර තිබුණා දැයි නොදනිමි.) මා ඉහත දැක්වූ ආදර්ශය පිළිබඳව කිසිදු විචාරකයකුගේ අවධානය යොමු වූ බවක් නොපෙනේ. එසේම, දරුවන් සඳහා වැඩසටහන් ඉදිරිපත් කරන්නන්ට ඉතා වැදගත් කරුණු ගණනාවක් මේ චිත‍්‍රපටයෙන් ඉදිරිපත් කෙරේ. එසේම මාපිය දූදරු සබඳතා පිළිබඳ ඉතා ආදර්ශවත් අදහස් චිත‍්‍රපටයෙන් පැවසේ. එහෙත් කිසිවකුගේ (බොහෝ දෙකනුගේ) අවධානය චිත‍්‍රපටයේ යටිපෙළ කෙරෙහි යොමු නොවීම කනගාටුවට කරුණකි. ඒ අතින් ගත් කල අපේ ඇත්තන්ගේ සහ එහේ ඇත්තන්ගේ එතරම් වෙනසක් නැත.