Friday, July 27, 2012

‘පැණි වළලූ’, ‘බූන්දි’ සහ ‘ගල් බනිස්’

ධම්මික ගංගානාත් දිසානායක යනු කියවීමේ රුචිය වඩවන ලෙස යමක් ලිවීමට හැකියාව ඇත්තෙකි. ඒ බව ඔහු විසින් රචිත ඈත-මෑත ලියමන් පරීක්ෂා කිරීමේදී පැහැදිලි වේ. මෑතකදී ඔහු පළ කළ ‘පැණි වළලූ’ පොත ඔහුගේ ලේඛන හැකියාව ඔප්පු කිරීමට සමත් මෑතකාලීන සාක්කියකි. පොතේ සාප්පු හිමියන්ගෙන් ලැබෙන තොරතුරුවලට අනුව ‘පැණි වළලූ’ මේ කාලයේ වැඩියෙන්ම විකිණෙන පොත් අතර ඉදිරියෙන්ම සිටී. 


‘පැණි වළලූ’ පොත පළවීමත් සමඟ විචාරකයෝත් විවේචකයෝත් ඉදිරියට ආහ. පක්ෂ විපක්ෂ බේදයකින් තොරව බොහෝ මාධ්‍යයන්හි නිලමක්කාරයෝ ‘පැණි වළලූ’වල ගුණ කියන්නට ඉදිරිපත්වූහ. ‘පැණි වළලූ’ පිළිබඳව හැඳින්වීමක් නොකළ, විවේචන සාකච්ඡා ආදිය පළ නොකළ මාධ්‍යයක් නැති තරම්ය. 


මේ නයින් බලන කල, ‘පැණි වළලූ’ යනු සාකච්ඡා කිරීමට මාතෘකා කීපයක් අප හමුවේ තබන සාධකයකි.


පළමුවැන්න නම් මේ රටේ පොත් විකිණීමට නොහැකිය, මේ රටේ මිනිසුන් පොත් කියවීමෙන් බැහැරවී ඇත යන අදෝනා පුස්සක් බව ‘පැණි වළලූ’ අපට කියාදෙයි. කියවීමට හැකි පොතක් පළවන්නේ නම්, ඒ පිළිබඳ ප‍්‍රමාණවත් ප‍්‍රචාරයක් කෙරෙන්නේ නම් අපේ පාඨකයන් එය සාදරයෙන් පිළිගන්නා බවට ‘පැණි වළලූ’ සාක්කි දරයි. මොකාක් හෝ රචනාවක් පොතක් ලෙස පළ කර ලේඛක ලේඛිකාවන් වන්නට උත්සාහ කරන නෝනාවරුන්ට හා මහත්වරුන්ට ‘පැණි වළලූ’ත් හොඳ විරේකයකි.


අපේ රටේ තරම් ලේඛක ලේඛිකාවන් පිරිසක් ලෝකයේ වැඩිම ජනතාවක් වෙසෙන චීනය වැනි රටවලවත් අපේ රටේ තරම් ලේඛක ලේඛිකාවන් පිරිසක් සිටින්නේ දැයි සැක උපදවන තරමට මෙහි ලේඛක ලේඛිකාවෝ පහළ වෙති. ‘ලේඛකයකු වෙන්නට ඇති පහසුම මාර්ගය ළමා පොතක් ලිවීමයි’ වැනි අදහස් දරන මහාචාර්යවරුන් වෙසෙන රටක, ළමා මනස දූෂණය කරන කුනුකන්දල් හොඳ පොත් ලෙස අනුමත කර මුද්‍රණ ආධාර දෙන ‘ජාතික ග‍්‍රන්ථ සංවර්ධන මණ්ඩලය’ වැනි රාජ්‍ය ආයතන ඇති රටක, වෘත්තීය වශයෙන් අන්ත දිළිඳු පොත් ප‍්‍රකාශන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක රටක මෙබඳු ලේඛක ලේඛිකාවන් ගොන්නක් බිහිවීම අරුමක් නොවේ. එහෙයින් මේ රටේ සාහිත්‍යයේ අභිවෘද්ධිය ගැන හැඟීමක් ඇති කිසිවකු සිටීනම් වහාම කළ යුතු කාර්යය වන්නේ පොත් ප‍්‍රකාශන ක්ෂේත‍්‍රය වෘත්තීය මට්ටමට දියුණු කිරීමයි. සරලව කියන්නේ නම් පොතක් වශයෙන් පළ කළ යුතුම දෙයක් පමණක් පොතක් වශයෙන් පළ කිරීමේ වැඩසටහනක් ඇරඹීමට පදනම දැමීමයි.


‘පැණි වළලූ’ පොතට මෙතරම් ප‍්‍රචාරයක් ලැබුණේ ඇයි? එය ලංකාවේ මෑතකදී පළ වුණු ඉතාමත්ම වටිනා පොත නිසාද? අපට හැගෙන හැටියට නම් ‘පැණි වළලූ’ එබඳු පොතක් නොවේ. එය කියවීමේ රුචිය වඩවන පොතකි. එහෙත් එය මහාර්ඝ ග‍්‍රන්ථ රත්නයක් නොවේ. එසේ නම් ඊට මෙතරම් ප‍්‍රචාරයක් ලැබුණේ ඇයි? එකක් ගංගානාත් දිසානායක සහ ඔහු වටා සිටින පුද්ගලයන්ගේ ප‍්‍රචාරක හැකියාවයි. අනෙක මාධ්‍ය ආයතනවල සිටින වන්දිබට්ටයන්ගේ දීනකමයි. මේ රටේ හැම අවුරුද්දකම පාහේ කතාබහට ලක් විය යුතු පොත් කීපයක් වත් පළ වේ. නමුත් ඒවා පිළිබඳව සමාජයට කියන්නට ඉදිරිපත් වන පුද්ගලයන් දකින්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි. 


කලකට පෙර නම් හොඳ පොතක් පළ වූ විට එය මිලදීගෙන කියවා බලා ඒ පිළිබඳ විචාර පුවත්පත් මඟින් ඉදිරිපත් කළ විචාරකයෝත් පුවත්පත් පිටු සංස්කාරකයෝත් සිටියහ. අදද එබඳු පුද්ගලයෝ ඉතා කලාතුරකින් දැකිය හැකිය. නමුත් බොහෝ විට දකින්නට ලැබෙන්නේ ප‍්‍රවීණ ලේඛකයන් පවා තමන්ගේ පොත් පිළිබඳ ප‍්‍රචාරයක් ලබාගැනීමට පුවත්පත්වල වැඩ කරන චුක්කිනියන් පසුපස කන්කෙඳිරිගාමින් යාමට සිදුව ඇති තත්වයකි. බොහෝ පුවත්පත්වල සාහිත්‍ය පිටුවල කටයුතු කරන්නන්ට පොතක් කියවා විවේචනයක් කිරීමට තරම් හැකියාවක් නැත. අඩුම තරමින් ඉතා කෙටි හැඳින්වීමක් ලියාගැනීමටවත් හැකියාවක් නැත. ඔවුන්ට කළ හැක්කේ ලැබෙන පොතේ පෙරවදනින් හෝ පසුවදනින් කෑල්ලක් උපුටා දැමීම පමණකි. මේ සඳහා නිදහසට හේතු වශයෙන් ඔවුන් දක්වන හේතු ගණනාවකි. 


‘‘පොත් අරන් විවේචන දාන්න අපට පිස්සු නෑ.’’


‘‘පොත් අරන් විවේචන දාන්න අපට සල්ලි නෑ.’’


‘‘කියවන්ඩ වෙලාවක් නෑ.’’


‘‘පොතක් ගැන විවේචන ලියවගන්න කෙනෙක් නෑ. ලියල එව්වොත් දාන්නම්.’’


‘‘පිටුවෙ එච්චර ඉඩ නෑ.’’


‘‘අහවලා කැමති නෑ. මගේ ජොබ් එකත් ගහල යයි.’’


පුවත්පත්වල තමන්ගේ කල්ලියේ හිතවත් බලවතකු සිටී නම් හෝ පත්තරකාරයින්ට පඩුරුපාක්කුඩම් දොළපිදේනි පුදපූජා පවත්වන්නේ නම් තත්වය වෙනස් වේ. එවිට  ඕනෑම කසිකබල්පොතක් පිළිබඳව හොඳ ප‍්‍රචාරයක් ලබාගත හැකිය. මාර්ටින් වික‍්‍රමසිංහ  ඇතුළු කල්ලිය බලවත්ව සිටි කාලයේ ඔවුන්ගෙන් බැටකෑ ඩබ්ල්යු. ඒ. සිල්වා වසරක් පතා පත්තරකාරයින්ට ‘සංග‍්‍රහයක්’ පැවැත්වූ බව තතු දන්නෝ කියති.
විපක්ෂයට සම්බන්ධ ලේඛක ලේඛිකාවන්ට අපේ රටේ රාජ්‍ය මාධ්‍යයන්හි ප‍්‍රචාර ලැබෙන්නේ කෙසේද යන්න පිළිබඳව අමුතුවෙන් සටහන් ලිවිය යුතු නැත. නමුත් ‘පැණි වළලූ‘ ඒ කඩඉමද පැනගත්තේය. ඒ කෙසේද? ගංගානාත් දිසානායක එජාප නායක රනිල් වික‍්‍රමසිංහයන්ගේ සමීපතමයෙකි. විශ්වවිද්‍යාල තනතුරු ඉනිමගේ ඉහළට එන්නට ඔහුට උපකාර වුණේ ඒ සමීපකම බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ගවලින් පැවසෙයි. රනිල් යනු බොහෝ දුරට මේ රටේ ඊළඟ නායකයාය. එබඳු පුද්ගලයන් වටා සිටින්නන්ගේ හොරි කැසීම අනාගතයේ කරල පැහෙන වැඩක් බව මාධ්‍ය ඔස්තාර්ලා දනිති. නැව ගිලෙන විට පනින්නට තැනක් කෙරෙහි ඇසගසාගෙන සිටීමේ ඉව මීයන්ට තිබේ.


‘පැණි වළලූ’ පොතට ලැබුණු අන්දමේ ප‍්‍රචාරයක් මේ රටේ පළ වන වටිනා පොත්වලට දෙන්නට මාධ්‍යකරුවන්ට හැකියාවක් නැත්තේ ඇයි? මෙය මේ රටේ කමකට ඇති පොත් පළ කරන ලේඛක ලේඛිකාවන් මාධ්‍යකරුවන්ගෙන් ඇසිය යුතු ප‍්‍රශ්නයකි. පොත් කියවීමෙන් මේ රටේ මිනිසුන් දුරස්ව ඇති බව කීම මෙන්ම පොත්වලට මාධ්‍යවලින් ප‍්‍රචාරයක් දිය නොහැකිය යන්නද මිත්‍යාවක් බව ‘පැණි වළලූ’ අපට පෙන්වා දෙයි.


‘පැණි වළලූ’ පොතට ලැබුණු ප‍්‍රචාරයත් සමඟ විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලවල සමහරු කුලප්පු වූහ. 


‘‘ ඕවද විශ්වවිද්‍යාල මහාචාර්යවරු ලියන පොත්? කෝ ශාස්ත‍්‍රීය පර්යේෂණ’’


‘‘ ඕකා හොර උපාධිකාරය.’’


ගංගානාත් දිසානායකට එල්ල වන චෝදනා එසේය. චෝදනාවලින් බහුතරයක් එල්ල කරන්නේ ගංගානාත්ට ලැබුණු ප‍්‍රසිද්ධිය ඉවසාගන්නට බැරිකම නිසාය. මේ චෝදනාකරුවන්ගෙන් බහුතරයකට එබඳු චෝදනා එල්ලකිරීමේ සදාචාරාත්මක අයිතියක් නැත. ඒ  ඔවුන්ද විශ්වවිද්‍යාල නරාවළේ ජරාව කප්පරක් ගිල ඇති පුද්ගලයන් වන හෙයිනි. ඇතැම් ඇදුරන්ගේ චෝදනාවේ එක්තරා ඇත්තක් තිබේ. එනම් ඇතැම් විශ්වවිද්‍යාල ඇදුරන්ගේ ශාස්ත‍්‍ර හීනතාවයි. 


ගංගානාත් දිසානායක බලධරයන්ගේ ආශීර්වාදය ලබා, සාමාන්‍යයෙන් ලැබෙන අධ්‍යයන නිවාඩුව වන වසර 2 වසර 4ක් දක්වා දීර්ඝ කරගෙන ජපානයේ පිස්සු කෙලමින් ඉඳ, ජපන් භාෂාවෙන් ලියා තිබුණු සහතිකයක් රැගෙන වත් ආචාර්ය උපාධිය ලෙස පෙන්වා විශ්වවිද්‍යාලය මුළා කළ බවට එක් චෝදනාවකි. ගංගානාත්ගේ ආචාර්ය උපාධි නිබන්ධය නීල් ලකී ක‍්‍රිස්ටෝපර් ලියූ එකක් බවට තවත් චෝදනාවකි. ජපන් සහතික කතාව ඇත්තක් නම්, එහි පරිවර්තනයක් ගෙන්වා ගන්නට වත් මොළයක් නැති විශ්වවිද්‍යාල නිලමක්කාරයන් ගැන හිතා ගත හැකිය. ගංගානාත් දිසානායක සේවය කරන ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉහළ පටන් පහළට වාර්තා වන ශාස්ත‍්‍ර වංචා දෙස බැලූ විට මේවා සාමාන්‍ය දේවල් යයි තර්ක කිරීමටද පුළුවන.


ජපුරේ ඉහළම පුටුවේ ඉන්නා මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආචාර්ය උපාධි නිබන්ධය වෙනත් හිමි නමක් ලියූ එකක් යයි කියති. සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ශාස්ත‍්‍රීය සොරකම් පිළිබඳව පොත් පවා පළ වී තිබේ. පූජ්‍ය කිවුලේගෙදර නාරද හිමියන් විදුරුපොල නාහිමියන්ගේ ශබ්දකෝෂයේ සංස්කාරක වශයෙන් හොර ලේබල් එල්ලාගත් අයුරු පුවත්පත්වල පළ විය. ලංකාවේ ආචාර්ය මහාචාර්යවරුන් කූපමණ්ඩුකයන් යයි කියා හතර අතට පහර දෙන මහාචාර්ය සුචරිත ගම්ලත් පැරණි උගතුන්ගේ පොත් ගෙඩිපිටින් කොල්ලකා ඇති අන්දම නුගේගොඩ ‘මොඩර්න්’ පොත් ප‍්‍රකාශන හිමිකරුගෙන් විමසූ විට දැනගත හැකිය. වර්තමාන විශ්වවිද්‍යාල උගතුන් පැරණි පුවත්පත් සඟරා ආදියේ ලිපි කොල්ලකා පොත් හා ලිපි පළ කර ඇති ආකාරය පසුගිය කාලයේ පුවත්පත්වල පළ විය.


විශ්වවිද්‍යාල උගතුන්ට වඩා අද පර්යේෂණ කරන බවක් පෙනෙන්නේ බාහිර පුද්ගලයන්ය. ‘අපට කරන්න පර්යේෂණ නෑ. සේරම පරණ කට්ටිය කරලනෙ. ඔය හැටි පර්යේෂණ කරන්න දේවල් තියෙනවයැ?’ මේ පිළිබඳව විමසූ විට විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් කීය. විශ්වවිද්‍යාලවල ශාස්ත‍්‍රීය කාර්යයන් පිළිබඳ යමක් කීම පසුවට තබමි. 


ගංගානාත් දිසානායක ශාස්ත‍්‍රීය පොත්ම පළ කළ යුතු යයි නියමයක් නැත. විශ්වවිද්‍යාල ඇදුරන් සාමාන්‍ය ජනතාවට කියවිය හැකි දෙයක් පළ කිරීම සාධනීය කරුණකි. එය ලේඛකයාගේ පැත්තෙන් මෙන්ම පාඨකයාගේ පැත්තෙන්ද ගත් කල යහපත් ක‍්‍රියාවකි. එහෙත් ගංගානාත් දිසානායකගේ ශාස්ත‍්‍රීය ව්‍යායාමයන් වැදගත් වන්නේ ඔහු මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ වැදගත් නිලයක් හොබවමින් මේ රටේ අනාගතයට බලපෑම් කළ හැකි කණ්ඩායමක නායකත්වය හොබවමින් ඉන්නා නිසාය. අඩුම තරමින් ඔහුට තම පොතට (පුවත් පත් තීරු ලිපියට - මෙය පුවත්පත් තීරු ලිපි එකතුවකි.) ගැලපෙන නමක් වත් හිතාගන්නට ඔහුට හැකිවක් තිබී නැත. අපගේ විනිශ්චයට අනුව නම් නම කොපියකි. ‘බූන්දි’ බෙව් අඩවිය කොපි කිරීමකි. ‘බූන්දි’ යනු පැණි වළලූ විශේෂයකි. නමුත් ‘බූන්දි’ පුවත්පත් පාඨකයන් අතර එතරම් ජනප‍්‍රිය නැත. එනිසා ‘පැණි වළලූ’ නම දුටු විට ඔවුන්ට ‘බූන්දි’ සිහි නොවේ.


මේ සියල්ල අපට සිහි කරන්නේ ‘ගල් බනිස්’ හෙවත් ‘බැරිම තැන’ය. බේකරිවල ඉතිරිවන පාන්, බනිස් සියල්ල එකතුකර කුඩුකර අනා ගල් බනිස් නිපදවේ. මෙය ඉතා බර ආහාරයකි. එකක කෑ විට පැය ගණනකට කුසගින්න පළායයි. ‘බැරිම තැන’ යන නම ඊට යොදා ඇත්තේ එහෙයිනි. ‘ගල් බනිස්’ හදන ආකාරය ඒවා කන බොහෝ දෙනා දනිති. අද බොහෝ විශ්වවිද්‍යාල ඇදුරන්ද (මාධ්‍යකරුවන්ද) ‘ගල් බනිස්’ හෙවත් ‘බැරිම තැන’ බඳුය. විශ්වවිද්‍යාල ‘ගල් බනිස්’වලට ‘බැරිම තැන’ යන නම යෙදි ඇත්තේ, වෙනකෙකු හොයා ගන්නට ‘බැරිම තැන’ සහ විවිධ බලපෑම් නිසා වෙනකෙකු ගන්නට ‘බැරිම තැන’ ඔන්න ඔහේ පත්කරගෙන ඇති නිසාවෙනි. 



අපේ විශ්වවිද්‍යාල නමැති හෝටල හමූහයේ සීනි බනිස්, ටී බනිස්, කිඹුලා බනිස් සමග ගල් බනිස් මෙන්ම ඉතා ඉහළ පෙළේ කේක්ද විකිණීමට ඇත. ඉතිරිවන කේක් බනිස් ආදියෙන් ගල් බනිස් සෑදිය හැක. ඉතිරි වන ගල් බනිස්වලට කළ හැක්කේ ඌරන්ට දැමීම පමණි. 


මේ සියල්ලේ අවසාන ප‍්‍රතිඵලය විශ්විද්‍යාල අධ්‍යාපනය ‘බඩු බනිස්’ වීමයි.


Sunday, July 22, 2012

සංගක්කාරට අම්මා මතක් කර දෙමු


කුමාර් චොක්ෂානද සංගක්කාර අපට සිටින දක්ෂ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකි. වාර්තා තබමින් ක‍්‍රිකට් ලෝකයේ නම රැන්දූවෙකි. ක‍්‍රිකට් ක‍්‍රීඩාවට වඩා සංගක්කාර පහුගිය වසරේ ජුලි 4 වැනිදා MCC Spirit of Cricket Cowdrey  දේශනය පැවැත්වීමෙන් මුළු ලෝකයේම ඇගයීමට ලක්විය. එම දේශනය පැවැත්වූ එකම ශ‍්‍රී ලාංකිකයා ඔහුය. වයසින් අඩුම පුද්ගලයා ඔහුය. ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ නිරතව සිටිමින් එම දේශනය පැවැත්වූ එකම පුද්ගලයාද ඔහුය. දෙසුම අවසානයේ ලෝඞ්ස් පරිශ‍්‍රයේ දේශනය ඇසූ සියල්ලෝම අසුන්වලින් නැගිට සංගක්කාරට ප‍්‍රසාදයත් ගෞරවයත් පළ කළහ. ඩෙස්මන්ඞ් ටුටූ බිෂොප්තුමාට පසු, මේ දේශනය පැවැත්වීම නිසා එබඳු පිළිගැනීමක් ලද පුද්ගලයා සංගක්කාර යැයි පැවසේ. එහෙයින් සංගක්කාර යනු එසේ මෙසේ පුද්ගලයෙක් නොවේ. අන්තර්ජාතික තලයෙන් ගත් කල අපේ රටේ බොහෝ ඇමතිවරුන්ටවත් සංගක්කාරට ඇති පිළිගැනීම නැතැයි කිව හැකිය.


මේ සියලූ කරුණු එක්ව ගත් කල සංගක්කාර වනාහි ලෝක පූජිත පුද්ගලයෙකි. එබඳු පිළිගැනීමක්, ඇගයීමක් ලැබෙනුයේ කලාතුරකින් කෙනෙකුට පමණි. මෙවැනි කීර්තිමත් පුද්ගලයන්ට සමාජයට කළ හැකි බලපෑම විශාලය. ව්‍යාපාරිකයන් පන්නපන්නා ගොස් සංගක්කාර වැන්නවුන් කුලියට ගෙන ප‍්‍රචාරක දැන්වීම් නිපදවා සිය භාණ්ඩ පිළිබඳව ජනතාවට රෙකමදාරු කරවන්නට වෙහෙසෙන්නේ එහෙයිනි.


තමන් ලබා ඇති කීර්තිය නිසාම සංගක්කාරට වෙළෙඳ භාණ්ඩ කීපයක් ප‍්‍රචාරය කිරීමේ අවස්ථාව ලැබී ඇත. මේ දිනවල සංගක්කාර වැඩි වශයෙන්ම නිර්දේශ කරන්නේ ‘විවා මොල්ටඞ් මිල්ක්’ හා ‘ඇනිලින් කිරිපිටි’ය.
ඇනිලින් වනාහි ‘ෆොන්ටේරා’ කිරි නිශ්පාදන දැවැන්තයාගේ නිපයුමකි. ෆොන්ටේරා සමාගම පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක් වුණු ‘චීන කිරිපිටි මගඩියේ’ කොටස්කාරයෙකි. තත්පර 20කට එක බැගින් නවසීලන්තයේ කෙරෙන අසරණ වසුපැටවුන් අමුඅමුවේ මස් පිණිස සංහාරය කිරීමේ ඝාතක කල්ලියේ සාමාජිකයෙකි.


කාට වුවද කැල්සියම් අවශ්‍යතාවක් තිබේ නම් කිරිපිටි බී එය සපුරාගැනීමේ අවශ්‍යතාවක් නැත. බොහෝ කිරිපිටි නිපදවෙනුයේ ගවයින්ගේ කිරිවලිනි. ලෝකයේ කොයි එළදෙනගේ කිරි වුවද බොහෝ දුරට එක හා සමානය. ගන්නා කෑමබීම, දේශගුණය, ජාන බලපෑම ආදිය නිසා දෙනුන්නේ කිරිවල යම් යම් වෙනස්කම් තිබිය හැකිය. එහෙත් අධිකැලිසියම් සහිත කිරි දොවාගත හැකි දෙනුන් නම් නැත. කිසියම් කිරිපිටි වර්ගයක කැල්සියම් ප‍්‍රමාණය අධික නම් අනිවාර්යයෙන්ම ඒ කෘති‍්‍රම ලෙස එක්කරන ලද කැල්සියම් විය යුතුය. සිරුරට අවශ්‍ය කැල්සියම් ලබාගැනීමට ග‍්‍රෑම් එකක් රුපියල බැගින්දී ඇනිලින් බීමට අවශ්‍ය නැත. ගමේ ඩිස්පැන්සරියේ දොස්තර මහතාට කී විට ඩිස්පැන්සරියේ පෙති තිබේ නම් නොමිලයේම හෝ නැතිනම් සුළු මුදලකට ෆාමසියෙන් හෝ ලබාගත හැකිය. ඒ සඳහා අහවල් එක බොන්න අහවල් එක බොන්න යයි කියමින් ජනතාව මුලාකර මිලියන ගණනින් මුදල් හම්බ කිරීම මහත්මයෙකුට තරම් නොවන බව තේරුම් ගන්නට මේ කිර්තිමත් දේශකයාට නොහැකිවීම කනගාටුවට කරුණකි.


විවා මෝල්ටඞ් මිල්ක් ජනප‍්‍රිය කරවීම සඳහා සංගක්කාර කුලියට කරන ප‍්‍රකාශ අපගේ හිත් බලවත් සේ කම්පාකිරීමට සමත් විය. සංගක්කාර කියන්නේ ඔහුගේ සියලූ ජයග‍්‍රහණ පිටුපස සිටිමින් ඔහුට ජවය ශක්තිය දුන් ‘ශ‍්‍රියා කාන්තාව’ ‘විවා’ බවයි. 


‘ශ‍්‍රියා කාන්තාව’ වනාහි හින්දු දේව සංකල්පවල එන සුරංගනාවකි. අප දන්නා පරිදි සංගක්කාරට ජවය ශක්තිය දුන් සැබෑ සුරංගනාවක් සිටියි. ඒ කුමාරි සුරංගනා නමැති සංගක්කාරගේ මවයි. එතුමිය වෙළඳ සමාගම්වල ප‍්‍රචාරයට අසුවී පියයුරු වැහැරෙතැයි බියෙන් සංගක්කාරට මව් කිරි නොදුන් තැනැත්තියකැයි අපි නොසිතමු. අපට හැගෙන පරිදි නම් සංගක්කාරගේ බලය, ජවය, ශක්තිය පිණිස පදනම වැටෙන්නට ඇත්තේ මව් කිරෙන් හා ජාන බලයෙනි. සංගක්කාරගේ මව වෙළෙඳ ප‍්‍රචාරයට අසුවී සංගක්කාරට මව් කිරි නොදී කිරිපිටි පෙව්වා නම් ඔහුට ඔය ජවසම්පන්න බව නොලැබෙනු නියතය. අඩුම තරමින් සංගක්කාරගේ නිවෙසේ ‘විවා මෝල්ටඞ් මිල්ක්’ බෝතලයක් වත් ඇත්දැයි සැක සහිතය. සංගක්කාර වැනි ක‍්‍රීඩකයකුට ශක්තිය සැපයීමට විවා බඳු බාල මෝල්ට් වීදුරු දෙකතුනකට නොහැකිය.


අපේ සංස්කෘතියේ කිසියම් පුද්ගලයකුට ඇති වටිනාම වස්තුව වශයෙන් සැලකෙන්නේ මවයි. බුදුන් වහන්සේ හැඳින්වීම සඳහා ‘අමාමෑණියන්’ වහන්සේ යනුවෙන් භාවිතා කරන්නේ එහෙයිනි. අප ජිවත් වන මහපොළව හැඳින්වීමට ‘මහපොළෝ මාතාව’ යන්න භාවිතා කරන්නේ එහෙයිනි. කරදරයකදී වෙනත් ජාතීන්ගේ මුවෙන් පිටවන, ආණ්ඩවනේ, දෙයියනේ, අල්ලා, මුරුගා, කඩවුලේ වෙනුවට සිංහලයන්ගේ මුවෙන් ‘අම්මේ’ හඬ නිකුත් වන්නේ එහෙයිනි.


මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් වෙළෙඳ දැන්වීමකට පෙනී සිට සංගක්කාර කරන මේ ප‍්‍රකාශය මව කෙළෙසීමකි. ජනතාව ගොනාට ඇන්දවීමක් පමණක් නොව සමාජයට මාතෘත්වය පිළිබඳ වැරදි අර්ථකථනයක් කාන්දුකිරීමකි. 


සංගක්කාර බඳු කීර්තිමත් පුද්ගලයන් සමාජය සමඟ කරන ගනුදෙනු පිළිබඳව මීට වඩා සැලකිලිමත් විය යුතුය. ජීවිත කාලයටම එකම එක වටිනා දැන්වීමකට නොමිලේ පෙනීසිටි අර්ජුන රණතුංග, නීලා වික‍්‍රමසිංහ ආදීන් ආදර්ශයට ගන්නට සංගක්කාර වැන්නවුන්ට හැකිවේවා. 

Tuesday, July 17, 2012

කලාකරුවාගේ හෘදසාක්‍ෂිය


සමාජයට මතවාද ඇතුළත් කර ජනතාවගේ සිතුම්පැතුම් ආකල්ප ආදියෙහි විපර්යාස ඇති කරන පිරිසක් සිටිති. මාධ්‍යවේදීහු, ලේඛකලේඛිකාවෝ, නළු නිළියන් ගායක ගායිකාවන් ඇතුළු විවිධ ක්ෂේත‍්‍රයන්හි නිරත කලාකරුවෝ ආදීහු ඒ අතර වෙති. ඒ අතරින් නළු නිළියන්, ගායක ගායකගායිකාවන් බඳු ‘තරු’ සමාජයට කරන බලපෑම විශාලය. ඒ යම් යම් හේතු නිසා සෙසු පිරිසට වඩා සමාජ ආකර්ශනයක් ඔවුන්ට ඇති බැවිනි.

කලාකරුවන් සතුවිය යුතු වගකීම කුමක්දැයි අපේ බොහෝ කලාකරුවන් අවබෝධ කොටගෙන නැතිබවක් පෙනේ. කලාකරුවන්ගේ සමහර ක‍්‍රියාකලාපයන් හේතුවෙන් විශේෂයෙන් ඔවුන් කලාව භාවිතා කරන ආකාරය හේතුවෙන් සමාජයට සිදුවන්නේ විශාල හානියකි. එහෙයින් කලාකරුවකු සතු වගකීම පැහැදිලි කෙරෙන එක්තරා කලාකෘතියක් පිළිබඳ මේ කෙටි සටහන තබමි.

ඈන් ෆයින්ගේ ‘ඒලියස් මැඩම් ඩවුෙෆයර්’ නවකතාව අනුසාරයෙන් රැන්ඩි මෙයිම් සිංගර් හා ලෙස්ලි ඩික්සන් තිරනාටකට ලියා ක‍්‍රිස් කොලූම්බුස් අධ්‍යක්ෂණය කළ, ‘මිසිස් ඩවුට්ෆයර්’ (1993) රොබින් විලියම්ස්, මාර්ෂා ගාර්ෂස් විලියම්ස් හා මාක් රෙඞ්ක්ලිෆ් නිෂ්පාදනය කළ ප‍්‍රහසන චිත‍්‍රපටයකි. මේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයට පනපොවන්නේ ද රොබින් විලියම්ස්ය. කතාවට අනුව ඔහු පනදෙන චරිතය කටහඬ ශිල්පියෙකුගේය. ඔහුගේ චරිතය අපූර්ව එකකි. චිත‍්‍රපටයද අපූර්වය. ලොවපුරා විචාරකයන්ගේ ප‍්‍රශංසාවට පාත‍්‍ර වූ එය විලියම්ස්ගේ රඟපෑමේ කුසලතා පිළිබිඹු කරන හොඳම නිදසුනක් ලෙස හැඳින්වේ. එහෙත් ඒ සියල්ල මෙහිලා විස්තර කළනොහේ. මෙය චිත‍්‍රපට විචාරයක් නොවන හෙයිනි.

චිත‍්‍රපටයේ එක් අවස්ථාවක කටහඬ ශිල්පියා දරුවන් සඳහා වන කාටුන් චිත‍්‍රපටයකට හඩකවමින් සිටී. එහි නරියකු ගිරවකුගේ කටෙහි සිගරැට්ටුවක් ඔබන දර්ශනයක් තිබේ. කාටූනයෙන් පෙනෙන්නේ ගිරවා මහත් රුචියෙන් සිගරැට්ටුව උරන බවයි. එහෙත් කටහඬ ශිල්පියා කහින්නට පටන්ගනී. මේ මොහොතේ කාටුන් චිත‍්‍රපටයේ අධ්‍යක්ෂවරයා ‘මොනවද ඔය කරන්නේ?’ යි අසයි. ‘මම කරන්නේ සිද්ධවෙන දේයි’ කටහඬ ශිල්පියා කියයි. එවිට අධ්‍යක්ෂවරයා ‘පිටපතට අනුව කටයුතු කිරීමට’ කටහඬ ශිල්පියාට නියෝග කරයි.

‘‘මම පිටපතේ තියෙන දේ කිව්වොත් මේ කාටූනය නරඹන ලක්ෂ ගණන් දරුවන් සිගරැට් බීම ඉතාම තෘප්තිමත් දෙයක් කියලා හිතයි’’ කටහඬ ශිල්පියා පිළිතුරු දෙයි. ‘‘මේ කාටූනය ලක්ෂ ගණනක් වියදම් කරලා කරන වැඩක්. පිටපතේ තියෙන දේ කියන්න බැරිනම් රස්සාව දාලා ගෙදර යන්න පුළුවනි.’’ අධ්‍යක්ෂවරයා කෝපයෙන් නියෝග කරයි. සිනහවකින් මුව සරසාගන්නා කටහඬ ශිල්පියා රැකියාව අතහැරදා ගෙදර යයි. (චිත‍්‍රපටයට අනුව රැකියාව අහිමිවීම නිසා ගැටලූ රාශියකට මුහුණදී විවාහ ජීවිතය පවා කඩාකප්පල් කරගන්නා කටහඬ ශිල්පියා අවසානයේ සිය හැකියාව නිසාම සාර්ථක පුද්ගලයකු බවට පත්වෙයි.)

අපේ කලාකරුවන් ගාලූමුවදොර පිටියට රැස්කරවා මේ චිත‍්‍රපටිය නැරඹීමට සැලැස්විය හැකි නම් අපූරුය.  

වර්තමානයේ අපේ සමාජයෙහි මේ ආකාරයෙන් තම වගකීම පිළිබඳ අවබෝධයෙන් හිතට එකඟව කටයුතු කරන කලාකරුවෝ කීදෙනෙක් සිටිත්ද? එදා පටන් අද දක්වා කලාව නිසා සමාජයට සිදුවූ අහිතකර බලපෑම් පිළිබඳව නම්  ඕනෑ තරම් නිදර්ශන පෙන්නාදිය හැකිය.


මේ චිත‍්‍රපටය පිළිබඳව ලෝකයේ බොහෝ රටවල විචාරකයෝ ගණනාවක් විචාර විවේචන කළහ. ඒ හැම එකකින්ම පාහේ පැවසුණේ රොබින් විලියම්ස්ගේ විටක රංගන හැකියාව පිළිබඳවයි. (අප ඇස නොගැටුණු ඊට පටහැනි විචාර තිබුණා දැයි නොදනිමි.) මා ඉහත දැක්වූ ආදර්ශය පිළිබඳව කිසිදු විචාරකයකුගේ අවධානය යොමු වූ බවක් නොපෙනේ. එසේම, දරුවන් සඳහා වැඩසටහන් ඉදිරිපත් කරන්නන්ට ඉතා වැදගත් කරුණු ගණනාවක් මේ චිත‍්‍රපටයෙන් ඉදිරිපත් කෙරේ. එසේම මාපිය දූදරු සබඳතා පිළිබඳ ඉතා ආදර්ශවත් අදහස් චිත‍්‍රපටයෙන් පැවසේ. එහෙත් කිසිවකුගේ (බොහෝ දෙකනුගේ) අවධානය චිත‍්‍රපටයේ යටිපෙළ කෙරෙහි යොමු නොවීම කනගාටුවට කරුණකි. ඒ අතින් ගත් කල අපේ ඇත්තන්ගේ සහ එහේ ඇත්තන්ගේ එතරම් වෙනසක් නැත.


Friday, July 13, 2012

පූජකයා, භික්ෂුව සහ දේශපාලනය


  ආගම හා දේශපාලනය අතර ඍජු සම්බන්ධතාවක් තියෙනව. ලෝකයෙ ප‍්‍රධාන හැම ආගමක්ම තහවුරු කිරීම හා පැතිරීම සිදුවෙන්නෙ රාජ්‍ය පාලකයින් (හෙවත් දේශපාලනඥයින්) මැදිහත්වෙලයි. බුද්ධාගම ලොව පැතිරුනේ අශෝක අධිරාජයාගේ ධර්ම දූත ව්‍යාපාරය හින්දයි. ක‍්‍රිස්තියානි ආගම රෝමයේ රාජ්‍යාගම කරපු කොන්ස්ටන්ටයින් අධිරාජයා තම බලය යොදා එය තහවුරු කෙරුව. ඉස්ලාම් ආගමත් ඒ වගෙයි. කාලිප්වරයා තමා පතුරුවන්නෙ, තහවුරු කරන්නෙ. ආගම පතුරුවන පාලකයා පස්සෙ හැමවිටම පූජකවරයා හිටිය. පාලකයා ආගමකට විශේෂ සැලකිල්ලක් දක්වන්නෙ පූජකවරයාගේ උපදෙස් අනුවයි. 


  යුරෝපීන් යටත් විජිත ගොඩනංවනවාත් සමගම පැරණි ක‍්‍රමය වෙනස් වුණා. පාප්තුමාගේ උපදෙස් පිළිගත් පෘතුගීසි හා ස්පාඤ්ඤ හමුදා නායකයින් ලෝකෙන් අඩක්ම කතෝලික ආගමට නතුකර ගත්ත. පසුකලෙක ඇතිවූ රෙපරමාදු ප‍්‍රතිසංස්කරණවලින් පසුව පාප්තුමාගේ බලය සීමාවූ බව ඇත්ත. නමුත් ඒ වෙනුවට රෙපරමාදු ආගමික නායකයින් බිහිවෙලා බි‍්‍රතාන්‍යය වැනි රටවල් මෙහෙයවන්ඩ වුණා. අද ලෝකයේ බලවතා වී සිටින ඇමරිකාව මෙහෙයවන ප‍්‍රධාන බලවේගය තමයි ක‍්‍රිස්තියානි ආගම. ඇමරිකානු ඩොලර් නෝට්ටුවේ පවා දෙවියන්ගේ බලය ගැන සඳහන් වෙනව. ඇමරිකානුවා තම ජාතික ධජය ඉදිරියේ ජාතික ගීය ගයන්නේ දෙවියන්ගේ බලය සිහි කරමිනුයි. ඇමරිකා ජනාධිපති දිවුරුම් දෙන්නේ දෙවියන්ගේ පිහිට ඉල්ලමින්. ඇමරිකාව කියන්නේ කෙටි ඉතිහාසයක් ඇති රටක්. ඇමරිකා ජාතිය නිර්මාණය වෙලා තියෙන්නෙ ලෝකෙ හතරවටෙන්ම ආපු විවිධ ජාතිකයන් එකතු කිරීමෙන්. ඔවුන් අතර විවිධ ජාතිවලට ආගම්වලට අයත් මිනිස්සු ඉන්නවා. හැබැයි ඇමරිකාව ක‍්‍රිස්තියානි රටක් මිස සර්ව ආගමික රටක් නෙවෙයි. ඒක ඇමරිකානු ජාතියට අයත් රට මිස සර්ව ජාතික රටක් නෙවෙයි.


  යටත් විජිත බවට පත්වූ රටවල් කතෝලික හෝ ඇංග්ලිකානු ආගමික නායකයින්ගේ උපදෙස් අනුව කටයුතු කළා. මේ තත්වය බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලැබුවා කියල ලංකාවෙ වෙනස් වුණේ නෑ. රාජ්‍ය නායකයින් භික්ෂුව දෙන උපදෙස් අනුව වැඩ කළේ නැහැ. ක‍්‍රිස්තියානි පූජකයින්ගේ සහ බටහිර රටවල උපදෙස් අනුව නිරතුරුවම කටයුතු කරන්ඩ ඔවුන්ට සිදු වුණා. එයින් පිට පැන්න ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහත්තයව මැරුව මදිවට ඊට භික්ෂුණ් වහන්සේලාව සම්බන්ධ කෙරුව. මේ තත්වය කොහෙද නැත්තෙ. ඉන්දියාවෙ දැන් බලය අල්ලා සිටින්නේ ඉතාලි ජාතික ප‍්‍රබල කතෝලික කාන්තාවක්ව සිටි සෝනියා ගාන්ධි මැතිණියයි. මියන්මාරයේ බලය ක‍්‍රිස්තියානි සුද්දෙක්ව කරගහගත්ත සුකීට ගියා. ඉස්ලාම් රටවල් කුරාන නීතිය යටතේ කටයුතු කරන නමුත් ඇමරිකාව ප‍්‍රධාන යුරෝපීය රටවල් දෙන උපදෙස් නොපිළිගන්නා නායකයින් සිටින හැම ඉස්ලාම් රටක්ම දේශපාලන කුණාටුවලට අහුවෙනව. මේක තමයි අරාබි වසන්තය. 
      
  සැබවින්ම ලංකා දේශපාලනයේ භික්ෂුණ් වහන්සේලාට කිසිම බලයක් නෑ. රාජ්‍ය පාලකයින් භික්ෂුණ් වහන්සේලා දෙන උපදෙස් පිළිගන්නෙ නෑ. ඔවුන්ට ඒක කරන්ඩ බෑ. රාජ්‍ය පාලකයින් මෙහෙයවන අදෘශ්‍යමාන පූජක පිරිසක් ඉන්නව. මෑතක කොළඹ විශ්වවිද්‍යාලයෙ මහාචාර්යවරයෙක් කියල තිබුණ කාදිනල් මැල්කම් රංජිත් වැනි නායකයින්ට ඇති බලය හා තේජස හාමුදුරුවරුන්ට නැත්තෙ ඇයි කියල. ඇත්තටම ඥානය පාවිචිචි කරල බලනව නම් මේ වාගෙ ප‍්‍රශ්න මතුවෙන්නෙ නෑ. 


  රාජ්‍ය පාලකයින්ට භික්ෂුණ් වහන්සේලා දෙන උපදෙස් පිළිගන්ඩ බැරිනම් භික්ෂුණ්  වහන්සේ ගතයුතු පියවර කුමක්ද?  සසුන රට ජාතිය දේශපාලනඥයට බාරදීල ගමේ වැඩ කරමින් ඉන්ඩ කියලයි සමහරු කියන්නෙ. එහෙම වුනොත් යටත් විජිත යුගයටත් වඩා භයානක සමයක් උදාවීම වළක්වන්ඩ බැහැ.  භික්ෂුණ් වහන්සේලාට දිගට හරහට පහර ගහමින් මේ කාලයේ කරගෙන යන වැඩපිළිවෙළ සංවිධානාත්මක ක‍්‍රියාවක්. බොහෝ බෞද්ධයන්ට මේක වැටහෙන බවක් පෙනෙන්නෙ නැහැ.  


Tuesday, July 10, 2012

සුන්නත ආගමික ක‍්‍රියාවක්ද? හිංසනයක්ද?


‘සුන්නත හිංසනයකි. අධිකරණයෙන් දඩුවම් හිමිවිය යුතු වරදකි’ යනුවෙන් අර්ථ දැක්වෙන තීන්දුවක් ජර්මනියේ අධිකරණයක් ප‍්‍රකාශයට පත් කර ඇත. මෙම නඩු තීන්දුව සුන්නි ඉස්ලාමිකයන්ට වැදගත් වන්නක් නිසා ජර්මනියේ පමණක් නොව යුරෝපයේ රටවල් කිහිපයකම ජර්මන් අධිකරණ තීන්දුව ගැන සංවාදයක් ඇති වී තිබේ.


මෙය ජර්මනියේ කොලොන්ග් ප‍්‍රදේශයේ දිස්ත‍්‍රික් උසවියකින් දුන් නඩු තීන්දුවකි. සුන්නත් කෙරුණු ළමයකුගේ සිරුරෙන් ලේ ගලායාම නැවැත්වීමට නොහැකි වූ නිසා ළමයා රෝහලකට ඇතුළත් කර ඇත. පසුව පීඩාවට පත්වූ ළමයාගේ සුන්නත සිදු කළ වෛද්‍යවරයාට එරෙහිව ළමා හිංසන චෝදනාවක් යටතේ නඩු පැවරුණි.  ‘සුන්තත දෙමව්පියන්ට හිමි අයිතිවාසිකමක් හෝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ලියවුණු ආගමික නිදහසක් හෝ නොව හිංසනයකි. ළමයකු වැඩිහිටියකු වූ පසු තමන් කැමති නම් චර්මෙඡ්දනය කරගත හැකියි. නමුත් බාල දරුවන් සුන්නත් කිරීම ළමා හිංසනයක්.’ තීන්දුව ප‍්‍රකාශ කරමින් විනිසුරුවරයා ප‍්‍රකාශ කර ඇත. 


ළමයින් සුන්නත් කරන වැඩිහිටියන්ට අනාගතයේදී ජර්මනියේ පමණක් නොව ප‍්‍රංශය  ඕලන්දය වැනි රටවලද නීතිමය ප‍්‍රශ්නවලට මුහුණදීමට සිදුවන්නට පුළුවන් යයි අප හිතවත් ජර්මන් නීතිඥයෙක් අප හා පැවසීය.


සුන්නත් කිරීම බොහෝ කාලයක සිට ඉස්ලාම් අදහන්නන් අතර ආගමික සිරිතක් වශයෙන් සිදුවෙයි. පිරිමි ළමයින් ළමා වියේදී සුන්නත් කරනු ලබන අතර සමහර රටවල ගැහැණු ළමයින් සුන්නත් කිරීමද සිදුවේ. මෙම ස්ත‍්‍රී සුන්නත නම් හිංසනයක් බව බොහෝ රටවල් පිළිගනී. එම නිසා සමහර ඉස්ලාම් රටවල පවා කාන්තා සුන්නත සිදු නොකෙර්. සමහර රටවල එය අප‍්‍රසිද්ධියේ සිදු කෙරේ. ස්ත‍්‍රී සුන්නත මගින් කෙරෙනුයේ කාන්තා යෝනියේ භගමනිය නමැති අතිශයින් සංවේදී කොටස කපා දැමීමයි. ස්ත‍්‍රී සුන්නතට විරුද්ධව විශේෂයෙන්ම කාන්තාවන් අතර ජනමතයක් පසුගිය කාලයේ ඇති වුණි.  නමුත් පිරිමි සුන්නතට එරෙහිව ලෝකයේ කිසිම රටක මෙතෙක් විරෝධතාවයක් මතු වී නැත. එය ආගමික සිරිතක් මෙන්ම සෞඛ්‍යාරක්ෂාවට සුදුසු දෙයකැයි පිළිගැනීමක්ද  පවතී. 


මේ නිසා ජර්මන් අධිකරණ තීන්දුව පිළිබඳව ජර්මනියේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල ඉස්ලාම් අදහන්නන්ගේ විරෝධය පළ වී තිබේ.  

Saturday, July 7, 2012

‘යේසු ජීවමානයි’ - රුසියානු ජනාධිපති පුටින් කියයි.

රුසියානු විප්ලවයෙන් පසුව ගොඩනැගුනු සෝවියට් දේශය ලෝකයටම කොමියුනිස්ට්වාදය බෙදා හරින මූලස්ථානය වී පැවතුනි. අපේ රටවලට කොමියුනිස්ට්වාදය ආවේ එංගන්තයෙන් වුවත් එය ජනතාව අතරට ගෙනයාමට සෝවියට් දේශය බලපැම් කළේය. ලංකාවට මාක්ස්වාදය ගෙනා කොමියුනිස්ට්වාදීන්ට ආගම නොඅදහන හේතුවාදීන් වීමට සිදු විය. මෙය කරුම දෝෂයක් නොවේ. ප‍්‍රයෝගික මාක්ස්වාදය තේරුම් නොගැනීමේ විපාකයකි. මේ කොමියුනිස්ට්වාදීන් හේතුවාදීන් වශයෙන් බුදුසසුනට පහර දුන් හැටි පැරැන්නෝ දනිති. එහෙත් ඒ කිසිම හේතුවාදියකු ක‍්‍රිස්තියානි හෝ ඉස්ලාම් ආගම්වලට පහර නොදුන් බව අවබෝධ කරගත යුතු වැදගත් කාරණයකි.


කොමියුනිස්ට්වාදියා යනු ආගම් විරෝධියෙකු යයි ලංකාවේ පිළිගැනීමක් පැවතුනි. ලංකාවේ සිංහල බෞද්ධයන් එය ඇත්තක් යයි පිළිගත් නමුදු සත්‍ය ගවේශණය කරන විට එය ප‍්‍රචාරක වැඩසටහනක ප‍්‍රතිඵලයක් බව අවබෝධ වෙයි. ප‍්‍රචාරය කවුරුන් කොහෙන් ගෙනගියද ප‍්‍රචාරක මූලස්ථානය වූයේ වතිකානුවයි. ඒ සඳහා පාප්තුමාට බටහිර කඳවුරේ මාධ්‍ය ආයතනවලින් හොඳ සහයක් ලැබුණි. වතිකානුව හා බටහිර මාධ්‍ය කොමියුනිස්ට්වාදීන් ආගම් නැත්තන් යයි ප‍්‍රචාරය කළ නමුදු සෝවියට් නායකයන් ක‍්‍රිස්තියානි විරෝධීන් වශයෙන් කිසිම අවස්ථාවක කටයුතු කර නැත. එහෙත් ස්ටාලින්ගේ හමුදාව මොංගෝලියාව වැනි රටවල පන්සල් කඩමින් භික්ෂු සංහාරයක යෙදුණු බව නම් ඇත්තකි. ඔවුන් ක‍්‍රිස්තියානි දේවස්ථානයට රහසින් ආධාර උපකාර කළ ආකාරය හැටි දැන් ප‍්‍රසිද්ධියට පත්ව ඇත. කොමියුනිස්ට් නායකයන්ගේ සහය නිසා  රුසියාවේ  ඕතඩ්‍රොක්ස් පල්ලියට සිය කටයුතු නියමිත පරිදි කරගෙන යාමට හැකි විය.


පසුගිය සතියේ රුසියාවේ ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මැද පෙරදිග සංචාරයක යෙදුණි. මේ ගමනේ දී ජෙරුසලම දේවස්ථානයට ගිය පුටින් බිම දණගසා මහත් භක්තියෙන් දෙවියන් යැද්ද ආකාරය රුපවාහිනී සේවා මගින් දකින්නට ලැබුණි. පසුව මාධ්‍යවේදීන් පුටින්ගෙන් ක‍්‍රිස්තියානි ආගම ගැන ප‍්‍රශ්න කරද්දී ඔහුගෙන් ලැබුණු පිළිතුරු ලංකාව වැනි රටවල මාක්ස්වාදීන් දැන ගත යුතුය.


‘පුටින්ගේ පියා ව්ලැඩිමිර් කොමියුනිස්ට්කාරයෙක් වූ නමුදු පුටින්ගේ මව මරියා, පුටින් දරුවා ළමා කාලයේ බෞතීස්ම කළාය. ඔහුට ව්ලැඩිමිර්  නම දුන්නාය. (ශාන්ත ව්ලැඩිමිර් රුසියාව පාලනය කළ ප‍්‍රථම ක‍්‍රිස්තියානි රජු වශයෙන්  ඕතඩ්‍රොක්ස් පල්ලියේ ගෞරවය ලබයි. එහෙයින් ව්ලැඩිමිර් නාමය උග‍්‍ර ක‍්‍රිස්තියානි බැතිමත්භාවයේ සංකේතයකි. ලෙනින්ටද ව්ලැඩිමිර් කෑල්ලක් තිබුණි). පුටින් ළමා කාලයේ සිටම උග‍්‍ර බැතිමතෙක් වූයේය.


ජෙරුසලමේදී නායක පූජකයෙක් පුටින් අමතා ‘යේසුස් වහන්සේ නැවත එනවා’යි කීවේ ය. පුටින් එතුමාට පිළිතුරු දෙමින්, ‘සත්තකින්ම උන්වහන්සේ නැවත ඇවිල්ලා’යි කීවේය.


රුසියාවට ගොස් කොමියුනිස්ට්වාදීන් වී පැමිණි රෝහණ විජේවීර වැනි සහෝදරවරුන් කෙබඳුදැයි දැන් සිතන්න. ඔවුන් පන්සල තෝරාගත්තේ තරුණ තරුණියන්ට ත‍්‍රස්තවාදය පුහුණු කරන මධ්‍යස්ථානයක් ලෙසිනි. ජවිපෙ නායකයෝ ධර්මය කියාදුන් තරුණ භික්ෂුණ් ත‍්‍රස්තවාදීන් බවට පත් කළහ. බුදුගෙය ආයුධ එකතුකරන හා තුවක්කු හංගන ස්ථානයක් බවට පැමිණවූහ. එහි ප‍්‍රතිඵලය ගැන අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් මේ යතාර්ථයට පිටුපා කටයුතු කරන පිරිසක් ලංකාවේ සිටිති. ඔවුන් අතර තරුණ භික්ෂුන් වහන්සේලා සුළු පිරිසක්ද වෙති.


නිදා සිටින පුද්ගලයා අවදිකරන්නට පුළුවන. එහෙත් බොරුවට නිදාසිටින්නා කෙසේ අවදි කරන්නද? 

Friday, July 6, 2012

ඇයි?

ඔබ නගරවැසියකු වුවත් ගම්වැසියකු වුවත් ලංකාවේ සර්පයින් ගැන ඔබට සුළු දැනුමක් හෝ ඇතැයි හිතනවා. නයා, පොළගා, ගැරඩියා, මාපිලා, කරවලා, අහරකුක්කා වැනි සර්ප නාම ඔබ අසා ඇති. මේ සියලූ සර්පයන්ට වඩා විශේෂ සර්පයෙක් තමයි හෙනකඳයා. මේ සර්පයා නොදැක්කාට නම ඇහුව විගසම යමෙකුගේ හිතේ මැවෙන්නේ මහ විශාල ශරීරයක් තියෙන පිඹුරෙකුටත් වඩා ලොකු සර්පයෙක්. නමුත් ඇත්තටම හෙනකඳයා බොහොම කුඩා සර්පයෙක්. ඌ හරි කෙසගයි. මෑකරලක් වගේ හීනි දිග සතෙක්. හෙනකඳයා වර්තමානයේ දුර්ලභ සර්පයෙක්. සත්තුවත්තෙන් ඇරුණාම හෙනකඳයෙක් කැලෑවක හෝ දැකගන්ඩ අමාරුයි.

‘හෙනකඳයාගේ හෙවනැල්ල මිනිහෙකුගේ ඇඟට වැටුණොත් කොන්ද වලංගු නැතිව යනවා’ යන විශ්වාසය පැරණි සිංහල සමාජයේ පැවතුණා. ඒ නිසා වනාන්තරයට රිංගන ගම්මු අලියගෙන් කොටියගෙන් වගේම හෙනකඳයගෙනුත් ආරක්ෂාවීම සඳහා හැමවිටම මහන්සිගත්තා. බොහොමයක් මිනිස්සු හෙනකඳයා දැකලා නැහැ. නමුත්  කවදාවත් දැකලා නැති මේ හෙනකඳයාට බියෙන් තමා ඔවුන් වනාන්තරයට රිංගුවෙ.


අපේ රටට පැමිණි පරංගි ජාතිකයින් රට ආක‍්‍රමණයට පෙර රටේ තොරතුරු හා රටේ වනාන්නතර ගැන විමසද්දි  ‘හෙනකඳයා’ ගැන දැනගත්තා. හෙනකඳයා කියන නම ඔවුන්ගේ මුඛයෙන් උච්චාරණය වුණේ ‘එනකන්දා’ ලෙසටයි. මේ එනකන්දා නම ලංකාව පිළිබඳව පරංගි පූජකයින් පිළියෙළ කරපු වාර්තාවලත් අඩංගු වුණා. එනකන්දා (හෙනකඳයා) නොදුටු ගෝවේ පූජකයින් ඒ නමේ අර්ථ විග‍්‍රහ කරමින් හෙනකඳයා සෙයිලෝන්හි වනාන්තරවල වසන අති දැවැන්ත සර්පයෙක්’ ලෙසට පැහැදිලි කිරීම් කළා.


පරංගි අප‍්‍රිකාව, ආසියාව පමණක් නොවයි දකුණු ඇමරිකාවත් ආක‍්‍රමණය කෙරුව. ඔවුන් දකුණු ඇමරිකාවේ යටත් කරගත් භූමි කලාපය තමා වර්තමාන බ‍්‍රසීලය කියන රට. පරංගි බස හෙවත් පෘතුගීසි භාෂාව බ‍්‍රසිලයේ ජාතික භාෂාව වශයෙන් පවතිනව. බ‍්‍රසීලයේ ඇමසෝනා වනාන්තරයේදී පරංගි දැවැන්ත සර්පයෙක් දුටුවා. මේ සර්පයා පරංගි ශබ්දමාලාවේ සඳහන් සෙයිලෝනයේ (සිංහල දේශයේ) වෙසෙන දැවැන්ත සර්පයා හෙවත් ‘එනකන්දා’ යයි ඔවුන් හිතුවා. පරංගි ඇමසෝනාවෙ වෙසෙන දැවැන්ත සර්පයා ‘එනකන්දා’ යන නමින් හඳුන්වනට ගත්තා. මේ නම පසු කාලයක ‘ඇනකොන්ඩා’ වශයෙන් ඉංග‍්‍රීසි වහරට එක් වුණා.


 ‘ඇනකොන්ඩා’ කියන වචනයට අර්ථ දක්වන බොහොමයක් පැරණි ශබ්දකෝෂවල මේ නම ලංකාවේ ‘හෙනකඳයා’ කියන සර්පයාගේ ඇසුරින් නිර්මාණය වුණු එකක් බව සඳහන් වෙනවා. අන්තර්ජාලයේ විකිපීඩියාවත් නැෂනල් ජියොග‍්‍රෆි වෙබ් අඩවියත් මීට වෙනස් අදහසක් ඉදිරිපත් කරමින් ඇනකොන්ඩා කියන වචනය ‘අනයිකොල්රා’ කියන දෙමළ වචනයකින් බිහිවුණු එකක් යයි සඳහන් කරනවා.
හැබැයි ‘අනයිකොල්රා’ කියල සර්ප වර්ගයක් තමිල්නාඩු වනාන්තරයේ නැහැ. අපේ රටේ උතුරු නැගෙනහිර වනාන්තරවලත් නැහැ. හෙනකඳයා නම් අපේ හැම වනාන්තරයකම වාසය කරපු සත්ව උද්‍යාන වලට පවා ගෙනාපු සර්පයෙක්. නැෂනල් ජියොග‍්‍රෆි වෙබ් අඩවිය  ‘අනයිකොල්රා’ කියන වචනය ශ‍්‍රී ලංකාවෙන් ආවා කියාත් සඳහන්කර තියෙනවා.


ඇනකොන්ඩා පිළිබඳ මේ ලූහුඩු විස්තරය ඔබට බොහෝම දේවල් ගැන හිතන්ඩ හොඳ කාරණාවක්. එම චින්තනය බුද්ධිමය සංවාදයකට හොඳ ප‍්‍රවේශයක් සකසා දෙනවා. ඉදිරියේදි මේ පිළිබඳ විවරණයක් ඔබ වෙත ඉදිරිපත් කරන්නට අප බලාපොරොත්තු වෙනවා. ඒ සමගින් අප ඔබට මෙවැනි ආරාධනාවක් කරනවා. ඇනකොන්ඩා පිළිබඳ විස්තරය කියවද්දි ඔබට හැගෙන දේ හා වැටහෙන කාරණා ලියන්න. අපේ අරමුණ බැණඅඩගැසීම, තර්ජණය කිරීම, මඩගැසීම හෝ අවලාද නැගීම නොවයි. ඔබේ බුද්ධිය, විමර්ශන ශක්තිය අවදිකරවීමයි.


Monday, July 2, 2012