Friday, July 13, 2012

පූජකයා, භික්ෂුව සහ දේශපාලනය


  ආගම හා දේශපාලනය අතර ඍජු සම්බන්ධතාවක් තියෙනව. ලෝකයෙ ප‍්‍රධාන හැම ආගමක්ම තහවුරු කිරීම හා පැතිරීම සිදුවෙන්නෙ රාජ්‍ය පාලකයින් (හෙවත් දේශපාලනඥයින්) මැදිහත්වෙලයි. බුද්ධාගම ලොව පැතිරුනේ අශෝක අධිරාජයාගේ ධර්ම දූත ව්‍යාපාරය හින්දයි. ක‍්‍රිස්තියානි ආගම රෝමයේ රාජ්‍යාගම කරපු කොන්ස්ටන්ටයින් අධිරාජයා තම බලය යොදා එය තහවුරු කෙරුව. ඉස්ලාම් ආගමත් ඒ වගෙයි. කාලිප්වරයා තමා පතුරුවන්නෙ, තහවුරු කරන්නෙ. ආගම පතුරුවන පාලකයා පස්සෙ හැමවිටම පූජකවරයා හිටිය. පාලකයා ආගමකට විශේෂ සැලකිල්ලක් දක්වන්නෙ පූජකවරයාගේ උපදෙස් අනුවයි. 


  යුරෝපීන් යටත් විජිත ගොඩනංවනවාත් සමගම පැරණි ක‍්‍රමය වෙනස් වුණා. පාප්තුමාගේ උපදෙස් පිළිගත් පෘතුගීසි හා ස්පාඤ්ඤ හමුදා නායකයින් ලෝකෙන් අඩක්ම කතෝලික ආගමට නතුකර ගත්ත. පසුකලෙක ඇතිවූ රෙපරමාදු ප‍්‍රතිසංස්කරණවලින් පසුව පාප්තුමාගේ බලය සීමාවූ බව ඇත්ත. නමුත් ඒ වෙනුවට රෙපරමාදු ආගමික නායකයින් බිහිවෙලා බි‍්‍රතාන්‍යය වැනි රටවල් මෙහෙයවන්ඩ වුණා. අද ලෝකයේ බලවතා වී සිටින ඇමරිකාව මෙහෙයවන ප‍්‍රධාන බලවේගය තමයි ක‍්‍රිස්තියානි ආගම. ඇමරිකානු ඩොලර් නෝට්ටුවේ පවා දෙවියන්ගේ බලය ගැන සඳහන් වෙනව. ඇමරිකානුවා තම ජාතික ධජය ඉදිරියේ ජාතික ගීය ගයන්නේ දෙවියන්ගේ බලය සිහි කරමිනුයි. ඇමරිකා ජනාධිපති දිවුරුම් දෙන්නේ දෙවියන්ගේ පිහිට ඉල්ලමින්. ඇමරිකාව කියන්නේ කෙටි ඉතිහාසයක් ඇති රටක්. ඇමරිකා ජාතිය නිර්මාණය වෙලා තියෙන්නෙ ලෝකෙ හතරවටෙන්ම ආපු විවිධ ජාතිකයන් එකතු කිරීමෙන්. ඔවුන් අතර විවිධ ජාතිවලට ආගම්වලට අයත් මිනිස්සු ඉන්නවා. හැබැයි ඇමරිකාව ක‍්‍රිස්තියානි රටක් මිස සර්ව ආගමික රටක් නෙවෙයි. ඒක ඇමරිකානු ජාතියට අයත් රට මිස සර්ව ජාතික රටක් නෙවෙයි.


  යටත් විජිත බවට පත්වූ රටවල් කතෝලික හෝ ඇංග්ලිකානු ආගමික නායකයින්ගේ උපදෙස් අනුව කටයුතු කළා. මේ තත්වය බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලැබුවා කියල ලංකාවෙ වෙනස් වුණේ නෑ. රාජ්‍ය නායකයින් භික්ෂුව දෙන උපදෙස් අනුව වැඩ කළේ නැහැ. ක‍්‍රිස්තියානි පූජකයින්ගේ සහ බටහිර රටවල උපදෙස් අනුව නිරතුරුවම කටයුතු කරන්ඩ ඔවුන්ට සිදු වුණා. එයින් පිට පැන්න ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහත්තයව මැරුව මදිවට ඊට භික්ෂුණ් වහන්සේලාව සම්බන්ධ කෙරුව. මේ තත්වය කොහෙද නැත්තෙ. ඉන්දියාවෙ දැන් බලය අල්ලා සිටින්නේ ඉතාලි ජාතික ප‍්‍රබල කතෝලික කාන්තාවක්ව සිටි සෝනියා ගාන්ධි මැතිණියයි. මියන්මාරයේ බලය ක‍්‍රිස්තියානි සුද්දෙක්ව කරගහගත්ත සුකීට ගියා. ඉස්ලාම් රටවල් කුරාන නීතිය යටතේ කටයුතු කරන නමුත් ඇමරිකාව ප‍්‍රධාන යුරෝපීය රටවල් දෙන උපදෙස් නොපිළිගන්නා නායකයින් සිටින හැම ඉස්ලාම් රටක්ම දේශපාලන කුණාටුවලට අහුවෙනව. මේක තමයි අරාබි වසන්තය. 
      
  සැබවින්ම ලංකා දේශපාලනයේ භික්ෂුණ් වහන්සේලාට කිසිම බලයක් නෑ. රාජ්‍ය පාලකයින් භික්ෂුණ් වහන්සේලා දෙන උපදෙස් පිළිගන්නෙ නෑ. ඔවුන්ට ඒක කරන්ඩ බෑ. රාජ්‍ය පාලකයින් මෙහෙයවන අදෘශ්‍යමාන පූජක පිරිසක් ඉන්නව. මෑතක කොළඹ විශ්වවිද්‍යාලයෙ මහාචාර්යවරයෙක් කියල තිබුණ කාදිනල් මැල්කම් රංජිත් වැනි නායකයින්ට ඇති බලය හා තේජස හාමුදුරුවරුන්ට නැත්තෙ ඇයි කියල. ඇත්තටම ඥානය පාවිචිචි කරල බලනව නම් මේ වාගෙ ප‍්‍රශ්න මතුවෙන්නෙ නෑ. 


  රාජ්‍ය පාලකයින්ට භික්ෂුණ් වහන්සේලා දෙන උපදෙස් පිළිගන්ඩ බැරිනම් භික්ෂුණ්  වහන්සේ ගතයුතු පියවර කුමක්ද?  සසුන රට ජාතිය දේශපාලනඥයට බාරදීල ගමේ වැඩ කරමින් ඉන්ඩ කියලයි සමහරු කියන්නෙ. එහෙම වුනොත් යටත් විජිත යුගයටත් වඩා භයානක සමයක් උදාවීම වළක්වන්ඩ බැහැ.  භික්ෂුණ් වහන්සේලාට දිගට හරහට පහර ගහමින් මේ කාලයේ කරගෙන යන වැඩපිළිවෙළ සංවිධානාත්මක ක‍්‍රියාවක්. බොහෝ බෞද්ධයන්ට මේක වැටහෙන බවක් පෙනෙන්නෙ නැහැ.  


Tuesday, July 10, 2012

සුන්නත ආගමික ක‍්‍රියාවක්ද? හිංසනයක්ද?


‘සුන්නත හිංසනයකි. අධිකරණයෙන් දඩුවම් හිමිවිය යුතු වරදකි’ යනුවෙන් අර්ථ දැක්වෙන තීන්දුවක් ජර්මනියේ අධිකරණයක් ප‍්‍රකාශයට පත් කර ඇත. මෙම නඩු තීන්දුව සුන්නි ඉස්ලාමිකයන්ට වැදගත් වන්නක් නිසා ජර්මනියේ පමණක් නොව යුරෝපයේ රටවල් කිහිපයකම ජර්මන් අධිකරණ තීන්දුව ගැන සංවාදයක් ඇති වී තිබේ.


මෙය ජර්මනියේ කොලොන්ග් ප‍්‍රදේශයේ දිස්ත‍්‍රික් උසවියකින් දුන් නඩු තීන්දුවකි. සුන්නත් කෙරුණු ළමයකුගේ සිරුරෙන් ලේ ගලායාම නැවැත්වීමට නොහැකි වූ නිසා ළමයා රෝහලකට ඇතුළත් කර ඇත. පසුව පීඩාවට පත්වූ ළමයාගේ සුන්නත සිදු කළ වෛද්‍යවරයාට එරෙහිව ළමා හිංසන චෝදනාවක් යටතේ නඩු පැවරුණි.  ‘සුන්තත දෙමව්පියන්ට හිමි අයිතිවාසිකමක් හෝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ලියවුණු ආගමික නිදහසක් හෝ නොව හිංසනයකි. ළමයකු වැඩිහිටියකු වූ පසු තමන් කැමති නම් චර්මෙඡ්දනය කරගත හැකියි. නමුත් බාල දරුවන් සුන්නත් කිරීම ළමා හිංසනයක්.’ තීන්දුව ප‍්‍රකාශ කරමින් විනිසුරුවරයා ප‍්‍රකාශ කර ඇත. 


ළමයින් සුන්නත් කරන වැඩිහිටියන්ට අනාගතයේදී ජර්මනියේ පමණක් නොව ප‍්‍රංශය  ඕලන්දය වැනි රටවලද නීතිමය ප‍්‍රශ්නවලට මුහුණදීමට සිදුවන්නට පුළුවන් යයි අප හිතවත් ජර්මන් නීතිඥයෙක් අප හා පැවසීය.


සුන්නත් කිරීම බොහෝ කාලයක සිට ඉස්ලාම් අදහන්නන් අතර ආගමික සිරිතක් වශයෙන් සිදුවෙයි. පිරිමි ළමයින් ළමා වියේදී සුන්නත් කරනු ලබන අතර සමහර රටවල ගැහැණු ළමයින් සුන්නත් කිරීමද සිදුවේ. මෙම ස්ත‍්‍රී සුන්නත නම් හිංසනයක් බව බොහෝ රටවල් පිළිගනී. එම නිසා සමහර ඉස්ලාම් රටවල පවා කාන්තා සුන්නත සිදු නොකෙර්. සමහර රටවල එය අප‍්‍රසිද්ධියේ සිදු කෙරේ. ස්ත‍්‍රී සුන්නත මගින් කෙරෙනුයේ කාන්තා යෝනියේ භගමනිය නමැති අතිශයින් සංවේදී කොටස කපා දැමීමයි. ස්ත‍්‍රී සුන්නතට විරුද්ධව විශේෂයෙන්ම කාන්තාවන් අතර ජනමතයක් පසුගිය කාලයේ ඇති වුණි.  නමුත් පිරිමි සුන්නතට එරෙහිව ලෝකයේ කිසිම රටක මෙතෙක් විරෝධතාවයක් මතු වී නැත. එය ආගමික සිරිතක් මෙන්ම සෞඛ්‍යාරක්ෂාවට සුදුසු දෙයකැයි පිළිගැනීමක්ද  පවතී. 


මේ නිසා ජර්මන් අධිකරණ තීන්දුව පිළිබඳව ජර්මනියේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල ඉස්ලාම් අදහන්නන්ගේ විරෝධය පළ වී තිබේ.  

Saturday, July 7, 2012

‘යේසු ජීවමානයි’ - රුසියානු ජනාධිපති පුටින් කියයි.

රුසියානු විප්ලවයෙන් පසුව ගොඩනැගුනු සෝවියට් දේශය ලෝකයටම කොමියුනිස්ට්වාදය බෙදා හරින මූලස්ථානය වී පැවතුනි. අපේ රටවලට කොමියුනිස්ට්වාදය ආවේ එංගන්තයෙන් වුවත් එය ජනතාව අතරට ගෙනයාමට සෝවියට් දේශය බලපැම් කළේය. ලංකාවට මාක්ස්වාදය ගෙනා කොමියුනිස්ට්වාදීන්ට ආගම නොඅදහන හේතුවාදීන් වීමට සිදු විය. මෙය කරුම දෝෂයක් නොවේ. ප‍්‍රයෝගික මාක්ස්වාදය තේරුම් නොගැනීමේ විපාකයකි. මේ කොමියුනිස්ට්වාදීන් හේතුවාදීන් වශයෙන් බුදුසසුනට පහර දුන් හැටි පැරැන්නෝ දනිති. එහෙත් ඒ කිසිම හේතුවාදියකු ක‍්‍රිස්තියානි හෝ ඉස්ලාම් ආගම්වලට පහර නොදුන් බව අවබෝධ කරගත යුතු වැදගත් කාරණයකි.


කොමියුනිස්ට්වාදියා යනු ආගම් විරෝධියෙකු යයි ලංකාවේ පිළිගැනීමක් පැවතුනි. ලංකාවේ සිංහල බෞද්ධයන් එය ඇත්තක් යයි පිළිගත් නමුදු සත්‍ය ගවේශණය කරන විට එය ප‍්‍රචාරක වැඩසටහනක ප‍්‍රතිඵලයක් බව අවබෝධ වෙයි. ප‍්‍රචාරය කවුරුන් කොහෙන් ගෙනගියද ප‍්‍රචාරක මූලස්ථානය වූයේ වතිකානුවයි. ඒ සඳහා පාප්තුමාට බටහිර කඳවුරේ මාධ්‍ය ආයතනවලින් හොඳ සහයක් ලැබුණි. වතිකානුව හා බටහිර මාධ්‍ය කොමියුනිස්ට්වාදීන් ආගම් නැත්තන් යයි ප‍්‍රචාරය කළ නමුදු සෝවියට් නායකයන් ක‍්‍රිස්තියානි විරෝධීන් වශයෙන් කිසිම අවස්ථාවක කටයුතු කර නැත. එහෙත් ස්ටාලින්ගේ හමුදාව මොංගෝලියාව වැනි රටවල පන්සල් කඩමින් භික්ෂු සංහාරයක යෙදුණු බව නම් ඇත්තකි. ඔවුන් ක‍්‍රිස්තියානි දේවස්ථානයට රහසින් ආධාර උපකාර කළ ආකාරය හැටි දැන් ප‍්‍රසිද්ධියට පත්ව ඇත. කොමියුනිස්ට් නායකයන්ගේ සහය නිසා  රුසියාවේ  ඕතඩ්‍රොක්ස් පල්ලියට සිය කටයුතු නියමිත පරිදි කරගෙන යාමට හැකි විය.


පසුගිය සතියේ රුසියාවේ ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මැද පෙරදිග සංචාරයක යෙදුණි. මේ ගමනේ දී ජෙරුසලම දේවස්ථානයට ගිය පුටින් බිම දණගසා මහත් භක්තියෙන් දෙවියන් යැද්ද ආකාරය රුපවාහිනී සේවා මගින් දකින්නට ලැබුණි. පසුව මාධ්‍යවේදීන් පුටින්ගෙන් ක‍්‍රිස්තියානි ආගම ගැන ප‍්‍රශ්න කරද්දී ඔහුගෙන් ලැබුණු පිළිතුරු ලංකාව වැනි රටවල මාක්ස්වාදීන් දැන ගත යුතුය.


‘පුටින්ගේ පියා ව්ලැඩිමිර් කොමියුනිස්ට්කාරයෙක් වූ නමුදු පුටින්ගේ මව මරියා, පුටින් දරුවා ළමා කාලයේ බෞතීස්ම කළාය. ඔහුට ව්ලැඩිමිර්  නම දුන්නාය. (ශාන්ත ව්ලැඩිමිර් රුසියාව පාලනය කළ ප‍්‍රථම ක‍්‍රිස්තියානි රජු වශයෙන්  ඕතඩ්‍රොක්ස් පල්ලියේ ගෞරවය ලබයි. එහෙයින් ව්ලැඩිමිර් නාමය උග‍්‍ර ක‍්‍රිස්තියානි බැතිමත්භාවයේ සංකේතයකි. ලෙනින්ටද ව්ලැඩිමිර් කෑල්ලක් තිබුණි). පුටින් ළමා කාලයේ සිටම උග‍්‍ර බැතිමතෙක් වූයේය.


ජෙරුසලමේදී නායක පූජකයෙක් පුටින් අමතා ‘යේසුස් වහන්සේ නැවත එනවා’යි කීවේ ය. පුටින් එතුමාට පිළිතුරු දෙමින්, ‘සත්තකින්ම උන්වහන්සේ නැවත ඇවිල්ලා’යි කීවේය.


රුසියාවට ගොස් කොමියුනිස්ට්වාදීන් වී පැමිණි රෝහණ විජේවීර වැනි සහෝදරවරුන් කෙබඳුදැයි දැන් සිතන්න. ඔවුන් පන්සල තෝරාගත්තේ තරුණ තරුණියන්ට ත‍්‍රස්තවාදය පුහුණු කරන මධ්‍යස්ථානයක් ලෙසිනි. ජවිපෙ නායකයෝ ධර්මය කියාදුන් තරුණ භික්ෂුණ් ත‍්‍රස්තවාදීන් බවට පත් කළහ. බුදුගෙය ආයුධ එකතුකරන හා තුවක්කු හංගන ස්ථානයක් බවට පැමිණවූහ. එහි ප‍්‍රතිඵලය ගැන අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් මේ යතාර්ථයට පිටුපා කටයුතු කරන පිරිසක් ලංකාවේ සිටිති. ඔවුන් අතර තරුණ භික්ෂුන් වහන්සේලා සුළු පිරිසක්ද වෙති.


නිදා සිටින පුද්ගලයා අවදිකරන්නට පුළුවන. එහෙත් බොරුවට නිදාසිටින්නා කෙසේ අවදි කරන්නද? 

Friday, July 6, 2012

ඇයි?

ඔබ නගරවැසියකු වුවත් ගම්වැසියකු වුවත් ලංකාවේ සර්පයින් ගැන ඔබට සුළු දැනුමක් හෝ ඇතැයි හිතනවා. නයා, පොළගා, ගැරඩියා, මාපිලා, කරවලා, අහරකුක්කා වැනි සර්ප නාම ඔබ අසා ඇති. මේ සියලූ සර්පයන්ට වඩා විශේෂ සර්පයෙක් තමයි හෙනකඳයා. මේ සර්පයා නොදැක්කාට නම ඇහුව විගසම යමෙකුගේ හිතේ මැවෙන්නේ මහ විශාල ශරීරයක් තියෙන පිඹුරෙකුටත් වඩා ලොකු සර්පයෙක්. නමුත් ඇත්තටම හෙනකඳයා බොහොම කුඩා සර්පයෙක්. ඌ හරි කෙසගයි. මෑකරලක් වගේ හීනි දිග සතෙක්. හෙනකඳයා වර්තමානයේ දුර්ලභ සර්පයෙක්. සත්තුවත්තෙන් ඇරුණාම හෙනකඳයෙක් කැලෑවක හෝ දැකගන්ඩ අමාරුයි.

‘හෙනකඳයාගේ හෙවනැල්ල මිනිහෙකුගේ ඇඟට වැටුණොත් කොන්ද වලංගු නැතිව යනවා’ යන විශ්වාසය පැරණි සිංහල සමාජයේ පැවතුණා. ඒ නිසා වනාන්තරයට රිංගන ගම්මු අලියගෙන් කොටියගෙන් වගේම හෙනකඳයගෙනුත් ආරක්ෂාවීම සඳහා හැමවිටම මහන්සිගත්තා. බොහොමයක් මිනිස්සු හෙනකඳයා දැකලා නැහැ. නමුත්  කවදාවත් දැකලා නැති මේ හෙනකඳයාට බියෙන් තමා ඔවුන් වනාන්තරයට රිංගුවෙ.


අපේ රටට පැමිණි පරංගි ජාතිකයින් රට ආක‍්‍රමණයට පෙර රටේ තොරතුරු හා රටේ වනාන්නතර ගැන විමසද්දි  ‘හෙනකඳයා’ ගැන දැනගත්තා. හෙනකඳයා කියන නම ඔවුන්ගේ මුඛයෙන් උච්චාරණය වුණේ ‘එනකන්දා’ ලෙසටයි. මේ එනකන්දා නම ලංකාව පිළිබඳව පරංගි පූජකයින් පිළියෙළ කරපු වාර්තාවලත් අඩංගු වුණා. එනකන්දා (හෙනකඳයා) නොදුටු ගෝවේ පූජකයින් ඒ නමේ අර්ථ විග‍්‍රහ කරමින් හෙනකඳයා සෙයිලෝන්හි වනාන්තරවල වසන අති දැවැන්ත සර්පයෙක්’ ලෙසට පැහැදිලි කිරීම් කළා.


පරංගි අප‍්‍රිකාව, ආසියාව පමණක් නොවයි දකුණු ඇමරිකාවත් ආක‍්‍රමණය කෙරුව. ඔවුන් දකුණු ඇමරිකාවේ යටත් කරගත් භූමි කලාපය තමා වර්තමාන බ‍්‍රසීලය කියන රට. පරංගි බස හෙවත් පෘතුගීසි භාෂාව බ‍්‍රසිලයේ ජාතික භාෂාව වශයෙන් පවතිනව. බ‍්‍රසීලයේ ඇමසෝනා වනාන්තරයේදී පරංගි දැවැන්ත සර්පයෙක් දුටුවා. මේ සර්පයා පරංගි ශබ්දමාලාවේ සඳහන් සෙයිලෝනයේ (සිංහල දේශයේ) වෙසෙන දැවැන්ත සර්පයා හෙවත් ‘එනකන්දා’ යයි ඔවුන් හිතුවා. පරංගි ඇමසෝනාවෙ වෙසෙන දැවැන්ත සර්පයා ‘එනකන්දා’ යන නමින් හඳුන්වනට ගත්තා. මේ නම පසු කාලයක ‘ඇනකොන්ඩා’ වශයෙන් ඉංග‍්‍රීසි වහරට එක් වුණා.


 ‘ඇනකොන්ඩා’ කියන වචනයට අර්ථ දක්වන බොහොමයක් පැරණි ශබ්දකෝෂවල මේ නම ලංකාවේ ‘හෙනකඳයා’ කියන සර්පයාගේ ඇසුරින් නිර්මාණය වුණු එකක් බව සඳහන් වෙනවා. අන්තර්ජාලයේ විකිපීඩියාවත් නැෂනල් ජියොග‍්‍රෆි වෙබ් අඩවියත් මීට වෙනස් අදහසක් ඉදිරිපත් කරමින් ඇනකොන්ඩා කියන වචනය ‘අනයිකොල්රා’ කියන දෙමළ වචනයකින් බිහිවුණු එකක් යයි සඳහන් කරනවා.
හැබැයි ‘අනයිකොල්රා’ කියල සර්ප වර්ගයක් තමිල්නාඩු වනාන්තරයේ නැහැ. අපේ රටේ උතුරු නැගෙනහිර වනාන්තරවලත් නැහැ. හෙනකඳයා නම් අපේ හැම වනාන්තරයකම වාසය කරපු සත්ව උද්‍යාන වලට පවා ගෙනාපු සර්පයෙක්. නැෂනල් ජියොග‍්‍රෆි වෙබ් අඩවිය  ‘අනයිකොල්රා’ කියන වචනය ශ‍්‍රී ලංකාවෙන් ආවා කියාත් සඳහන්කර තියෙනවා.


ඇනකොන්ඩා පිළිබඳ මේ ලූහුඩු විස්තරය ඔබට බොහෝම දේවල් ගැන හිතන්ඩ හොඳ කාරණාවක්. එම චින්තනය බුද්ධිමය සංවාදයකට හොඳ ප‍්‍රවේශයක් සකසා දෙනවා. ඉදිරියේදි මේ පිළිබඳ විවරණයක් ඔබ වෙත ඉදිරිපත් කරන්නට අප බලාපොරොත්තු වෙනවා. ඒ සමගින් අප ඔබට මෙවැනි ආරාධනාවක් කරනවා. ඇනකොන්ඩා පිළිබඳ විස්තරය කියවද්දි ඔබට හැගෙන දේ හා වැටහෙන කාරණා ලියන්න. අපේ අරමුණ බැණඅඩගැසීම, තර්ජණය කිරීම, මඩගැසීම හෝ අවලාද නැගීම නොවයි. ඔබේ බුද්ධිය, විමර්ශන ශක්තිය අවදිකරවීමයි.