Thursday, August 22, 2013

ඩීසීඩී විස වෙන හැටි


රතු ඉන්දියානුවන් (රතුපැහැ ම්ලේච්ඡුයන්) වශයෙන් ප‍්‍රසිද්ධ කරන ලදුව යුරෝපීය ජාතිකයින් විසින් සමූල ඝාතනය කොට විනාශ කර දමනු ලැබූ ඇමරිකානු මහාද්වීපයේ වැසියෝ දුම්කොළය ඖෂධයක් වශයෙන් සැලකූහ. දුම්පානය ඔවුන්ගේ වෛද්‍ය උරුමයකි. දකුණු ඇමරිකානුවන්ගේ දුම්පානය යුරෝපීන්ගේ වෙළඳ ව්‍යාපාරයක් වූ පසු සිගරැට් නිෂ්පාදනය ඇති වුණි. ඇමරිකානු සිගරැට් සමාගම් ඇමරිකාවේත් ලෝකයේ වෙනත් රටවලත් ජනයා සිගරැට් පානයට ඇබ්බැහි කිරීම සඳහා ඉතාම සූක්ෂ්ම වෙළඳ ප‍්‍රචාරණ ක‍්‍රම අනුගමනය කළහ. 

ඒ කාලයේ බොහෝ බටහිර වෛද්‍යවරු රෝගීන් පරීක්ෂා කරන අතරත් සිගරැට් ඉරූහ. සිගරැට් බීම ශරීර සෞඛ්‍යට අහිතකර බව සිංහල වෙද්දු නම් එදා සිටම කීහ. නාගරික සමාජයේ උගත්තු පවා ඔවුන්ගේ කතාවලට සිනාසුණහ. 


‘‘සිගරැට් බීමෙන් හැදෙන ලෙඩරෝග මොනවාද? එහෙම දෙයක් ඔප්පු කරන පර්යේෂණ වාර්තා කෝ? සිගරැට් බීමෙන් ලෙඩ හැදෙනවා නම් යුරෝපයේ මිනිස්සු ගැහැණු වැඩිදෙනෙක් මැරෙන්ඩ  ඕනෑ නේද?’’ කියමින් තර්ක කළ ‘වෙබ්’ ලියන්නන් ඒ කාලයේ නොසිටි නමුදු ‘මෙන්න අලූත් අදහසක්. බොන්න බිස්ටල් එකක්’වෙළඳ දැන්වීම අකුරට පිළිගත්තෝ  ඕනෑ තරම් ලංකාවේ විසූහ. ඇමරිකාවේ මාල්බරෝ වෙළඳ දැන්වීමේ පෙනී සිටි පුද්ගලයා සිගරැට් පානය නිසාම මිය ගිය බව ඇමරිකානුවන් පවා දැනගත්තේ මෑතකදීය.


ගොයම් සහ එළවලූ, පලතුරු වගා සඳහා තෙල් පොහොර නාමයෙන් රසායනිත වස භාවිතය නිසා මනුෂ්‍යයාට මහාවිපත් සිදු වන බව මීට කලකට පෙර රටට කී ලේඛකයෝ අල්පය. එය දැනුම නමැති බීජ වැපිරීමකි. නමුත් එම දැනුම ඉදිරිපත් කළ ලේඛකයන් විද්‍යාගාර ආධාර කරගෙන දැනුම ලබාගත්තෝ නොවූහ. විද්‍යාගාරයෙන් මෙන්ම ප‍්‍රඥාවෙන් හා අත්දැකීමෙන්ද දැනුම ලබාගැනීමට පුළුවන. නවසීලන්ත කිරිපිටි පානයෙන් දරුවන්ට රෝගාබාධ වැලඳෙන බව පළමු වරට දැනගත්තෝ විද්‍යාඥයෝ නොවෙති. කිරිපිටිවලට වඩා මවුකිරි දරුවාට පෝෂ්‍යදායී බව පළමුවෙන් කීවෝද විද්‍යාඥයෝ නොවෙති. අත්දැකීමෙන් හෝ ප‍්‍රඥාවෙන් යමක් වටහාගෙන ඒ දැනුම ඉදිරිපත් කරන්නාට ‘කෝ පර්යේෂණාගාර වාර්තාව’ යයි කඩාපනින්නා එක්කෝ කුලියට කහින්නෙකි. නැතිනම් අමන මරිමෝඩයෙකි.


සිංහල වෙදකම බටහිර වෙදකමට වෙනස් දෙයකි. සමහරු ආයුර්වේද වෙදකම සහ සිංහල වෙදකම අතර වෙනස නොදනිති. පාරම්පරික සිංහල වෙදකම ආධාරයෙන් හාස්කම් දක්වන වෙද්දු රටේ සිටිති. සුළු නිදසුනක් ගනිමු. ‘වෑල්ඩින් වෙදමහත්තයා’ මොන තරම් හපන්කම් කරන්නේද? එතුමාගේ වෙදකම ගැන එහි ගියවුන් දන්නවා මිස විද්‍යාගාර වාර්තාවක නැත. මෙවැනි සිංහල වෙදකම් ඉතා හෑල්ලූවෙන් බාරගත් උගතෙකි, මියගිය මහාචාර්ය සුචරිත ගම්ලත්. ඔහු, පවුලේ අයෙකුට අසනීපයකට කොත්තමල්ලි ටිකක් තරම් වත් බොන්නට දුන්නේ නැතැයි අඹුව සහ දුව පත්තරවලට කළ ප‍්‍රකාශවල සඳහන් විය. එහෙව් මහාචාර්යතුමා අසනීපව සිටියදී පණ රැකගැනීම සඳහා ඇමරිකන් මඤ්ඤොක්කා කොළ යුෂ බිව්වේලූ.


නවසීලන්තයේ ෆොන්ටේරා සමාගම විෂකිරිපිටි නිපදවූවාද නැද්ද යන්න දැන් ලෝකයම දනී. එය ලංකාවට පමණක් විශේෂ වූ සිද්ධියක් නොවේ. ෆොන්ටේරා කිරිවල ඩීසීඩී ඇති බව හෙළිවූයේ 2012 සැප්තැම්බර් මාසයේය. එහෙත් එය සමාජයට වසන් කිරීමට නවසීලන්ත රජය සහ ෆොන්ටේරා බලධාරීහු හැකි හැම උත්සාහයක්ම ගත්හ. මේ බවට චෝදනා නවසීලන්ත මාධ්‍යවලින්ම ප‍්‍රසිද්ධ කෙරිණි. 

 ඩීසීඩී හෙවත් ඩයිසයිනඩයමයිඩ් (2-Cyanoguanidine, Cyanoguanidine, dicyanodiamide, N-cyanoguanidine, 1-cyanoguanidine, Guanidine-1-carbonitrile, dicyandiamin, Didin, DCD, Dicy) විස සහිත රසායනිකයකි. එය ආර් 20/21/22 (ආශ්වාසය, සමේ තැවරීම හා ගිලීම හානිකරය) සහ එස් 24/26 (සමේ හෝ ඇසේ තැවරීම වළක්වාගන්න) යන හානිකර කාණ්ඩවලට අයත්ය. එසේම
harmful (Xn) (ආශ්වාසය, ගිලීම හෝ සමේ තැවරීමෙන් ශරීරගතවීම මරණය, උග‍්‍ර, නිධන්ගත රෝගවලට හේතුයි)  යටතේ වර්ගීකරණය කර තිබේ. මේ විස්තර අනුව කවරෙකුට වුවද ඩීසීඩී හානිකර රසායනිකයක් බව අවබෝධ කරගැනීමට අසීරු නැත.

මේ සිද්ධිය මොන තරම් දුර දිග ගොස් තිබේද යත් ෆොන්ටේරා සමාගමේ ඇතැම් බලධාරීන් ඉල්ලා අස්වි සමාගමේ කීර්තිය බේරාදීමට හදති. ‘ඔබලාගේ විෂකිරිපිටි පිළිබඳව කරන පර්යේෂණ අත්හදා බැලිම් සඳහා අපේ දරුවන්ව යොදා ගන්න එපා’ යයි නවසීලන්ත තානාපතිතුමියට කීම ගැන පාඨලී චම්පික ඇමතිවරයාට ස්තුති කරමු. විෂ කිරිපිටි ජාවාරම පිළිබද තොරතුරු මෙසේ එළිවෙද්දී විස කිරිපිටි සමාගම් ආරක්ෂා කරන්නට ඉදිරිපත් වන නරුමයෝද සිටිති.

නසරුද්දින් බූරුවාගේ පිටේ වාඩිවෙන්නේ උගේ හිස පැත්තට මුහුණ ලා නොවේ. උගේ පස්ස පැත්ත දෙසට මුහුණ ලා ගෙනයි. මේ බව දැනගත් සුල්තාන් නසරුද්දීන්ව මාලිගාවට ගෙන්වීය. නසරුද්දින් ඒ ආවේත් බූරුවාගේ පස්ස පැත්ත බලාගෙන වාඩිගෙනයි. සුල්තාන්ට සිනා පහළ වුණි. 


‘‘මොකද නසරුද්දින් මේ කරන්නෙ?’’ ඔහු ප‍්‍රශ්න කළේය. 


‘‘බූරුව පාරෙ යන හැටි දන්නව. මම පාරෙ ඉන්න බූරුවො ගණන් කරනව’’ නසරුද්දීන් පිළිතුරු දුන්නේය.


Friday, August 9, 2013

විස කිරිපිටි ගැන නොකියන කතාව


දෙවන ලෝක යුද්ධයත් සමග යටත් රටවල් හැලීයද්දි හිරු නොබසින අධිරාජ්‍යය නමින් පෙනි සිටි බි‍්‍රතාන්‍යය තම බලය රැකගැනීම සඳහා අලූත් තුරුම්පුවක් ගැහුවේය. ඒ පොදුරාජ්‍ය මණ්ඩලය නමින් ආයතනයක් පිහිටුවීමයි. එංගලන්ත කිරීටය යටතේ පවත්වාගෙන යන මෙහි සමුළුවකට සහභාගි වී රැජින සමග ඡුාරූපයක් ගැනීම යටත් වී සිට ‘නිදහස’ ලැබූ ලංකාව බඳු රටවල රාජ්‍ය නායකයින්ට ඉහේ මලක් පිපෙන සිද්ධියක් වුණි. එබැවින් පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුවක් ලංකාවේ පැවැත්වීම යටත් විජිත මානසිකත්වයෙන් පෙළෙන ඇතැම් දේශපාලනඥයන් ඇතුළු හැමට පෙනෙන්නේ ලංකාවට පහළ වූ නිධානයක් ලෙසිනි.

පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ලංකාවේ පැවැත්වීමට යෝජනා වීම හා ස්ථිර වීම ඇනකොන්ඩා දකින්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය අමාරුවේ දැමීමට ඉදිරිපත් කෙරුණු කේවට්ට උපදෙසක් ලෙසය. මෙමගින් රජය බිය ගැන්වීමට හා රජය අසරණ කිරීමට නොයෙකුත් මාර්ග කපා ගැනීමට බි‍්‍රතාන්‍යය ප‍්‍රධාන බටහිර රටවලට අවස්ථාව ලැබේ. ඔවුන්ගේ වුවමනා ඉටුකර ගැනීමටත් රට බෙදීමේ වැඩකටයුතු සඳහා ආධාර කිරීමටත් පොට පෑදේ. ඒ සිද්ධි හැර තවත් නොයෙක් ක‍්‍රමවලින් රජයට බලපැම් කරන්නට බටහිර රටවලට මග පෑදේ. 

ඇනකොන්ඩාට දැනගන්නට ලැබුණු අන්දමට ඊයේ (8 වෙනි දින) රාත‍්‍රී නවසීලන්තයේ විදේශ ඇමතිවරයා අපේ රටේ ‘ඉහළ පුටුවක්’ සමග දුරකතන සාකච්ඡුාවක නිරත වී ඇත. බිළිඳු මනස හා සිරුර දුර්වල කරන ‘ඇන්කර් 1 ප්ලස්’ ප‍්‍රධාන විස කිරි පිටි ගෙන්වීම නවත්වනු ඇතැයි නවසීලන්ත කිරිපිටි සමාගම් කලබලයට පත්වීම මෙම සාකච්ඡුාවට ප‍්‍රධාන හේතුවයි. ලංකාව නවසීලන්ත විස කිරිපිටි නැවැත්වීම ලෝකයේ සෙසු රටවල්වලට දැනගන්නට ලැබීම නවසීලන්තයේ ෆොන්ටේරා නිෂ්පාදන අලෙවියට පාඩුවකි. ෆොන්ටේරා යනු කිරිපිටි මාෆියාවකි. එම නිසා නවසීලන්ත විදේශ ඇමතිවරයාගේ සාකච්ඡුාව පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ගැන නොව කිරිපිටි තහනම් කළොත් ඉදිරියේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගි නොවන බවට තර්ජනයක් වීමට පුළුවන. එබැවින් ඉදිරි කාලයේදී විස කිරිපිටි පිළිබඳ සියලූ වාර්තා බොරුකරුවන්ගේ ප‍්‍රකාශන යයි රජය නිල නිවේදනයක් නිකුත් කළොත් එය පුදුම විය යුතු සිද්ධියක් නොවේ.

රට තුළ අලෙවි කෙරෙන කිරි පිටි වර්ග ගණනාවක ඩීසීඩී අංගු බවට කාර්මික තාක්ෂණික ආයතනයේ වාර්තාව නිකුත් වූයේ ජූලි 26 වැනිදාය. ඉතාම විශ්වාස කටයුතු මාර්ගයකින් ඇනකොන්ඩාට මේ පුවත දැනගන්නට ලැබුණි. එහෙත් තීරණාත්මක කරුණු නිසා මේ පිළිබඳව මුනිවත රකිමින් කල්මරන්නට ඇනකොන්ඩාට සිදු විය. ඇනකොන්ඩාගේ පාඨකයන්ට දැකබලාගැනීම පිණිස ඒ වාර්තාවෙන් කොටසක් මෙහි දක්වමි. (රූපය)



වාර්තාව නිකුත් වූ වහාම කිරිපිටි ජාවාරම්කරුවන් ක‍්‍රියාත්මක වූ හැටි පැහැදිලි කළ යුතු නැත. මාධ්‍ය ආයතන ඔවුන්ට දෙන කිරිපිටි දැන්වීම් නවතාගෙන පාඩු විඳින්නට සූදානම් නොවූහ. සල්ලි සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ මල්ලි හෙවත් නිවුන් සොහොයුරා නිසා ජනමාධ්‍යයෝ  ජනහිතකාමී බව මුල්ලකට දමා හාවක්හූවක් නැතිව දින කීපයක් ගත කළහ. වර්තමාන තත්වය උද්ගත වූයේ දෑහිතකාමීන් කිහිප දෙනකුගේ උත්සාහයේ ප‍්‍රතිඵලයක් වශයෙනි. ඒ සියලූ දෙනාට ඇනකොන්ඩාගේ උත්තමාචාරය පිරිනැමේ.

ඩීසීඩී වල ක‍්‍රියාකාරිත්වය නිසා පුද්ගලයන්ට හානි කීපයක් සිදු වෙයි. පළමුවෙනි හානිය ස්නායු පද්ධතියේ සන්නිවේදනයට සිදු වන බලපෑමයි. දෙවැනි අනතුර නම් වකුගඩුවලට සිදු වන හානියයි. එසේම ඩීසීඩී පිළිකාකාරකයක් බවද හෙළිදරව් වී තිබේ.

ඩීසීඩී අඩංගු කිරිපිටි පිළිබඳ වාර්තාවට අනුව වැඩිම ඩීසීඩී ප‍්‍රතිශතයක් ඇත්තේ ඇන්කර් 1 ප්ලස් කිරිපිටිවලය. මෙය ඉතා භයානක තත්වයකි. ඇන්කර් 1 ප්ලස් කිරිපිටි දරුවන්ගෙ වර්ධනයට ඉතා සුදුසු බවට පසුගිය කාලය පුරාම දැන්වීම් පළ කෙරිණි. ඒ නිසාම මේ කිරිපිටි තම දරුවන්ට දෙන්නට බොහෝ දෙමාපියෝ නැඹුරු වූහ. දරුවන්ට සුදුසු යයි කියන ඇන්කර් 1 ප්ලස්වල සෙසු සියලූ කිරිපිටි අභිභවා ඩීසීඩී ඇතැයි හෙළිදරව් වී තිබේ. හැකි නම් මෙය කිසියම් කුමන්ත‍්‍රණකාරී ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක් ලෙස සැලසුම් සහගතව කරන ලද්දක්ද යන්නත් සොයාබැලීම වටී. මේ නිසා දරුවන්ගේ බුද්ධි මට්ටම පහළ ගොස් අනාගතයේදී මන්දබුද්ධික සමාජයක් බිහිවනු ඇත.

කාර්මික තාක්ෂණික ආයතනයේ වාර්තාවට අනුව අපේ රටේ නිපදවෙන හයිලන්ඞ් සහ පැලවත්ත යන කිරිපිටි වර්ග දෙකේම ඞීසීඞී අන්තර්ගත නැත. මෙය ඉතා වැදගත් කරුණකි. රටේ නිපදවන භාණ්ඩ දෙස පිලිකුලෙන් බලා ‘රට’ බඩු වැද්දගෙන සුද්දාට හිස නැමීමේ නිවට නියාළු පිළිවෙතට මෙය කදිම කනේපාරකි.

ජනතාව රටබඩුවලට ආකර්ෂණය වී ඇතිවා සේම, මේ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගෙන හෝ දේශීය නිෂ්පාදන දියුණු කිරීමට හෝ බලධාරීන් පියවර ගන්නා බවක් පෙනෙන්නට නැත. නැතිනම් හයිලන්ඞ් සහ පැලවත්ත කිරිපිටි ජනප‍්‍රිය කරවීමට මෙය කදිම අවස්ථාවකි. එහෙත් බලධරයන් තාමත් නිහඬය. 

Sunday, August 4, 2013

ජාතික විද්වත් මණ්ඩලයට විද්වතුන් ඕනෑකර තිබේ

වස කෑමෙන් හෝ බීමෙන් මරණය අත්කර ගැනීමට හැකි බව මළපොතේ අකුරු නොදන්නා මිනිස්සු මෙන්ම ගොන් මෝඩ මිනිස්සුත් දනිති. වස පානයෙන් සිදු වන මරණය ඉතාම වේදනාකාරී මරණයක් බව ඔවුන් වැඩි පිරිස දන්නේ සමාජයේ ජීවත්වීමෙන් ලත් දැනුමෙනි. නමුත් විද්‍යා දැනුමෙන් යුතුව කටයුතු කළ ඇල්ටීටීඊ සංවිධානය සිය සාමාජිකයන්ට කරේ පැළදීමට සයනයිඞ් කරලක් දුන්නේය. හදිසියකදී ඒ සයිනයිඞ් කරල කටට දමා හැපූ විට ඉතාම කෙටි වේලාවකින් අඩුම වේදනාවක් ඇතිව මරණය හිමිකර ගත හැකි බවට ඇල්ටිටීඊ සාමාජිකයෝ දැනුවත් වී සිටියහ. මීටත් වඩා පහසුවෙන් මරණය හිමිකර ගැනීමේ ක‍්‍රමයක් තිබේ දැයි යමෙකුට සැක පහළ කරන දැන්වීමක් ජාතික විද්වත් සභාව ප‍්‍රකාශයට පත් කර ඇත. ඒ කුමක් දැයි දැන ගැනීමට අගෝස්තු 6 වැනිදා ජාතික පුස්තකාල සහ ප‍්‍රලේඛණ සේවා රැස්වීම් ශාලාවට යා යුතුයි. එහි දී විද්වත්හු හතර දෙනෙක්ම  ‘නිහඬ මරණයකට පාර කපන වස විස පිරි ආහාර’ මැයෙන් දෙසුම් හතරක් පවත්වති.

යටත් විජිත යුගයේ විශේෂයෙන් ලංකාවේ ගැමියන් අතර උගතුන් වශයෙන් කැපී පෙනුණු ඉස්කෝල මහත්තුරු ‘කජු පේර වරකා ජම්බු ජම්බල නරකා’ කියමින් පාසැල් දරුවන් ගමේ හැදෙන පලතුරුවලින් ඈත් කිරීමේ මහ වැඩපිළිවෙළක නියැළුණහ. සමහර ගම්වල ඉස්කෝල මහත්තුරු මූලික වී පේර, ජම්බෝල ගස් වනසන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කළහ. ඔවුන් ඒ සටන ගෙන ගියේ අවංක චේතනාවෙනි. දේශීය පලතුරු කෑමෙන් මහජනයා ලෙඩ රෝග වැළඳගෙන අකාලයේ මිය යතැයි යන විශ්වාසයෙනි.

මීට පසු කලෙක රටේ උගතුන් වශයෙන් කැපී පෙනුණු දොස්තරවරු බොහෝ දෙනා පොල්, පොල් කිරි හා පොල් තෙල්වලට විරුද්ධව මහා ප‍්‍රචාරයක් ගෙන යමින් පොල් ආහාරයට ගන්නා සිංහලයන්ගේ ශරීරයේ නරක කොලස්ටොරෝල් පිරී ඔවුන් හෘදයාබාධවලට ලක්වන බවට ප‍්‍රචාරයක් ගෙන ගියහ. දරුවන්ට මවු කිරි වෙනුවට පිටිකිරි සුදුසුයැයි ප‍්‍රචාරය කරන්නට ගත්තෝද දොස්තරවරුමය. ඇමරිකානු සමාගම් පොල් නිෂ්පාදනයන්හි බලය අල්ලාගත් පසුව දැන් සියලූම දොස්තරවරු ඒ කතාව වෙනුවට ශාක ආහාර නිසා ශරීරයේ කොලස්ටොරෝල් හුටපටයක් සිදුනොවන බව පවසති. ඇමරිකාව ආදි බටහිර රටවල් මවුකිරිවල ගුණ කියන්නට පටන්ගත් පසුව අපේ දොස්තර මහත්තුරුද දැන් මවුකිරේ අගය කියති.

විද්වත් සභාව විසින් සංවිධාන කරනු ලබන දේශන මාලාවට සම්බන්ධ වන ප‍්‍රසිද්ධ දේශකයන් හතර දෙනා අධිරාජ්‍යවාදීන්ගේ හෝ බටහිරුන්ගේ සමාගම්වලට අවනතව මහජනයා ගොනාට අන්දවන පුද්ගලයෝ නොවෙති. ඔවුන් ඊට පටහැනි දෙයක් කරමින් රසායනික වස විසවලට එරෙහිව මහජනයා දැනුවත් කිරීමට වෙහෙසෙන්නෝ වෙති. එවැනි පුද්ගලයන් හතර දෙනෙකු සහභාගි කරවාගෙන පවත්වන සම්මන්ත‍්‍රණය සඳහා යොදාගන්නා ‘නිහඬ මරණයකට පාර කපන වස විෂ පිරි ආහාර’ නමැති මාතෘකාව නම් රසායනික සමාගම්වලට සේවය කරන්නකි. එය කෙතට, වත්තට, ගොවිපළට හෙලන රසායනික වස නිසා සිදුවන මරණය නිහඬ, සැපවත් මරණයක් බව පෙන්වයි. මරණය බොහෝ විට කුරිරුය. දුක් සහිතය. එම නිසා ආහාර පාන මගින් නිහඬ මරණයක් ලබාගැනීමට හැකි නම් ඊට බොහෝ පිරිසක් කැමති වෙති. නිහඬ මරණයකට උදව් කරයි නම් රසායනික සමාගම් කරන්නේ එක්තරා ‘මහජන සේවයක්’ නොවේද?

අපේ රටේ බොහෝ උගතුන්ට හා විද්වතුන්ට මහජනයාට ආමන්ත‍්‍රණය කළ යුතු භාෂාව නොවැටහේ. මීට එක හේතුවක් සිංහල භාෂාව ගැන නිවැරදි දැනුමක් නැතිකමයි. පැරණි උගතුන් සිංහල දැනුම ලබාගත්තේ පාලි, සංස්කෘත භාෂා ඉගෙනීම මගිනි. හොඳ භාෂා දැනුමක් නැති වර්තමාන උගතුන් කියන ලියන දේ මහජනයාට නොවැටහේ. ජාතික විද්වත් මණ්ඩලයේ පෙර කී ප‍්‍රචාරක දැන්වීම එම මණ්ඩලයේ ඇත්තන්ගේ ‘විද්වත්භාවය’ පිළිබඳව ඇනකොන්ඩාගේ සිතෙහි සැකයක් ජනිත කරවයි.

Wednesday, July 24, 2013

සංඝාධිකරණය - සසුන නැසීමේ අලූත්ම උපක‍්‍රමය


බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ථෙරවාදී සහ මහායාන වශයෙන් ප‍්‍රධාන පාර්ශ්ව (නිකාය) දෙකකට බෙදුණු බුදුසසුන රටරටවලට පැතිර ගියේය. මෙයින් වඩාත් ජනප‍්‍රිය වූයේත් ව්‍යාප්ත වූයේත් මහායාන බුදුසසුනයි. කවුරුන් පිළිගැනීමට අකමැති වුවත් යේසුස් වහන්සේ මහායාන බුදුසසුනට අයත් භික්ෂුවක් බවට ඓතිහාසික සාක්ෂි ඉදිරිපත් වී තිබේ. යුදෙව් බයිබලය හා ක‍්‍රිස්තියානි බයිබලය විමසිල්ලෙන් කියවන්නෙකුට යේසුස්ගේ බණ හා යොහෝවාගේ අණ තේරුම් ගැනීමට පුළුවන. පසු කලෙක රෝම අධිරාජයෙකු විසින් ක‍්‍රිස්තියානි නමින් රෝමානු ආගමක් පිහිටුවන්නේ යේසුස් භික්ෂුව දෙසූ බුද්ධ ධර්මය සංශෝධනය කිරීමෙනි. ඒ රණකාමී දේවආගම ඇමරිකා, අප‍්‍රිකා මහාද්වීප ජයගත් අතර ලංකාව වැනි බෞද්ධ රටවල්ද ආක‍්‍රමණය කළේය. දැන් දැන් ලංකාවේ රෝමානු කතෝලික සභාව රෝමානු ආගමේ රෝමානු ලකුණු මකමින් බෞද්ධ සිරිත්විරිත් ආක‍්‍රමණය කරයි. මේ වන විට ලංකාවේ කතෝලික පූජක නාහිමිවරු ආරණ්‍යයන්හි සිටිති.

මහායාන බුදුසසුනට පළමු ප‍්‍රහාරය එල්ල වූයේ රෝමානු කතෝලික ආගමෙනි. ඉස්ලාම් ආගම බිහිවූ පසුව ඉස්ලාම් ආගම විසින් මහායාන සසුන දරුණු ලෙස මැඩපවත්වන ලදි. මහායාන බෞද්ධ මූලස්ථානය වී පැවතුණේ වර්තමාන කාශ්මීර ප‍්‍රදේශයයි. යුදෙව් ක‍්‍රිස්තියානි දර්ශනයක් වූ මාක්ස්වාදය රුසියාව ජයග‍්‍රහණය කිරීමෙන් අනතුරුව බලවත් වූ කොමියුනිස්ට් ව්‍යාපාරය ඉස්ලාම් හා කතෝලික ආගම්වලින් ගැලවී පැවති දකුණු ආසියාවේ මහායාන බුදුසසුනට මාරක ප‍්‍රහාරය දුන්නේය. වියට්නාමය, චීනය ආදී රටවල බුදුසසුන් කොමියුනිස්ට් පාලකයන් විසින් වනසා දමන ලද්දේය.

මහායාන බුදුසසුන මේ ලෙස අවසන් වන විට බුදුසසුන පැවති රටවල් තුනක් ඉතිරි විය. බුරුමය, තායිලන්තය හා ලංකාව නමැති මෙම රටවල් තුනේම ථෙරවාදී සසුන් පැවතුණි. මෙම රටවල් තමන්ගේ පාර්ශ්වයට ගැනීමේ ඉලක්කයක් ලෝකය දිනීමට සැරසෙන ඉස්ලාම් පාර්ශ්වයට ඇත. එය වටහාගෙන ඉස්ලාමිකයන් අභිභවා මෙම රටවල් තුන තමන් යටතට ගැනීමට ක‍්‍රිස්තියානි පාර්ශ්වය වෙහෙසේ. නමුත් මේ එක පාර්ශ්වයක්වත් තමන්ගේ සැබෑ මුහුණ එළිදැක්වීමට සූදානම් නැත. ඔවුහු සැබෑ ස්වරූපය සැඟවීම සඳහා උපායන් භාවිතා කරති. 

සර්වආගමික වැඩපිළිවෙළ එක් උපායකි. මැවුමකරුවෙකු ඇතැයි පිළිගන්නා ආගමක් සහ මැවුම්කරුවකු නැතැයි පිළිගන්නා දහමක් එක් නොවේ. මොනම හේතුවක් නිසාවත් ඉස්ලාම් කාන්තාවකට බෞද්ධයෙකු සමග විවාහ වීමට ෂාරියා නීතිය යටතේ අවසරයක් නැත. බෞද්ධයෙකුට ඉස්ලාම් දේවස්ථානයකට පයගසන්නට අවසර නැත.

ලෝකයේ තිබුණු බෞද්ධ රටවල් සිය ගණනක් රටවල් තුනකට බැස්සේ කෙසේද? ඒ රටවල් තුනම ථෙරවාදී රටවල් වූයේ කෙසේද? මේ ගැන සොයා බැලූවහොත් මෙම රටවල් තුනේම අවදියෙන් කටයුතු කළ භික්ෂුන් වහන්සේ පිළිබඳ තොරතුරු හමු වේ. මාක්ස්වාදී ලේඛකයන්, මෙවැනි භික්ෂුන් වහන්සේ නම් කරන්නේ සටන්කාමී භික්ෂූන් යන විශේෂ නමකිනි. ක‍්‍රිස්තියානි මාධ්‍යකරුවෝ අන්තවාදී භික්ෂූන් යන නම භාවිත කරති. මෙම රටවල් තුනේම සසුන් රැකී ඇත්තේ සටන්කාමී හෝ අන්තවාදී යයි හංවඩු ගැසෙන අවබෝධයෙන් කටයුතු කළ භික්ෂූන් නිසා මිස අංතට්ටු හා සමාන නායක පට්ටම් පැලඳගෙන ආණ්ඩුවලට ආවැඩූ භික්ෂූන් නිසා නොවේ. නායක පට්ටම් දීම ලංකාවේ භික්ෂුන් වහන්සේ දමනය කිරීම සඳහා බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරුන් යොදාගත්  උපායක් විනා සිංහල සිරිතක් නොවේ.

බත්තරමුල්ලේ සුභුති හිමි, මිගෙට්ටුවත්තේ ගුණනාන්ද හිමි වැනි භික්ෂුන් වහන්සේ නිදසුනකට ගෙන බලන්න. මෙවැනි යතිවරයෝ ආගමික අන්තවාදී භික්ෂූන් වශයෙන් සලකති. අනගාරික ධර්මපාලතුමා, වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා වැන්නන් පවා ඒ කාලවල සිටි ඇතැම් නායක හාමුදුරුවරුන් විසින් තක්කඩින් ලෙස හඳුන්වනු ලැබ තිබේ.

තායිලන්තයේ බුදුසසුන කලක සිට ඉතාම අපූරුවට බිම දමා ගෙන යති. බුරුමයේ හා ලංකාවේ බුදුසසුන් මැඞීමට ආක‍්‍රමණික පාර්ශ්වයෝ වෙහෙසෙති. ලංකාවේ හා බුරුමයේ සසුන රැකී ඇත්තේ ජාතිකත්වය සලකන අවදියෙන් කටයුතු කරන භික්ෂූන් නිසා බව ආක‍්‍රමණයේ යෙදෙන දෙපාර්ශ්වයම වටහාගෙන සිටිති. එබැවින් ජාතික හැඟීමෙන් කටයුතු කරන භික්ෂූන් උපන්ගෙයිම මරාදැමීමේ වැඩපිළිවෙළක් ලංකාවේ හා බුරුමයේ ක‍්‍රියාත්මක කරවීමට පිරිසක් වෙහෙසෙති. ඊට මුල්වන්නන් බි‍්‍රතාන්‍ය යුගයේ භික්ෂූන් මර්දනය කළ ආකාරය අධ්‍යයනය කර සංඝාධිකරණ පිහිටුවීමේ යෝජනාව ඉදිරිපත් කර තිබේ. තනතුරුවලට, වරප‍්‍රසාදවලට, මිලමුදලට හා දේශපාලනඥයන්ට වාල් වන භික්ෂූන් අධිකරණ සංඝසභාවලට පත් කර අවදියෙන් කටයුතු කරන භික්ෂූන් වහන්සේ මර්දනය කිරීම සංඝාධිකරණයේ පරමාර්ථයයි. මෙය මතුවට ලංකාවේ ක‍්‍රියාත්මක කෙරෙන භික්ෂුව හීලෑ කිරීමේ වැඩපිළිවෙළයි.

බුදුසසුනට කිසිම සේවයක් නොකරන සර්වආගමික කැඳහැළිය ගැන වෙහෙසෙන බුද්ධශාසන අමාත්‍යාංශය ඒ සඳහා වුවමනා සියලූ කටයුතු කිරීමේ කොන්ත‍්‍රාත්තුවට කරගසා ඇත.