‘පැණි වළලූ’ පොත පළවීමත් සමඟ විචාරකයෝත් විවේචකයෝත් ඉදිරියට ආහ. පක්ෂ විපක්ෂ බේදයකින් තොරව බොහෝ මාධ්‍යයන්හි නිලමක්කාරයෝ ‘පැණි වළලූ’වල ගුණ කියන්නට ඉදිරිපත්වූහ. ‘පැණි වළලූ’ පිළිබඳව හැඳින්වීමක් නොකළ, විවේචන සාකච්ඡා ආදිය පළ නොකළ මාධ්‍යයක් නැති තරම්ය.
මේ නයින් බලන කල, ‘පැණි වළලූ’ යනු සාකච්ඡා කිරීමට මාතෘකා කීපයක් අප හමුවේ තබන සාධකයකි.
පළමුවැන්න නම් මේ රටේ පොත් විකිණීමට නොහැකිය, මේ රටේ මිනිසුන් පොත් කියවීමෙන් බැහැරවී ඇත යන අදෝනා පුස්සක් බව ‘පැණි වළලූ’ අපට කියාදෙයි. කියවීමට හැකි පොතක් පළවන්නේ නම්, ඒ පිළිබඳ ප‍්‍රමාණවත් ප‍්‍රචාරයක් කෙරෙන්නේ නම් අපේ පාඨකයන් එය සාදරයෙන් පිළිගන්නා බවට ‘පැණි වළලූ’ සාක්කි දරයි. මොකාක් හෝ රචනාවක් පොතක් ලෙස පළ කර ලේඛක ලේඛිකාවන් වන්නට උත්සාහ කරන නෝනාවරුන්ට හා මහත්වරුන්ට ‘පැණි වළලූ’ත් හොඳ විරේකයකි.
අපේ රටේ තරම් ලේඛක ලේඛිකාවන් පිරිසක් ලෝකයේ වැඩිම ජනතාවක් වෙසෙන චීනය වැනි රටවලවත් අපේ රටේ තරම් ලේඛක ලේඛිකාවන් පිරිසක් සිටින්නේ දැයි සැක උපදවන තරමට මෙහි ලේඛක ලේඛිකාවෝ පහළ වෙති. ‘ලේඛකයකු වෙන්නට ඇති පහසුම මාර්ගය ළමා පොතක් ලිවීමයි’ වැනි අදහස් දරන මහාචාර්යවරුන් වෙසෙන රටක, ළමා මනස දූෂණය කරන කුනුකන්දල් හොඳ පොත් ලෙස අනුමත කර මුද්‍රණ ආධාර දෙන ‘ජාතික ග‍්‍රන්ථ සංවර්ධන මණ්ඩලය’ වැනි රාජ්‍ය ආයතන ඇති රටක, වෘත්තීය වශයෙන් අන්ත දිළිඳු පොත් ප‍්‍රකාශන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක රටක මෙබඳු ලේඛක ලේඛිකාවන් ගොන්නක් බිහිවීම අරුමක් නොවේ. එහෙයින් මේ රටේ සාහිත්‍යයේ අභිවෘද්ධිය ගැන හැඟීමක් ඇති කිසිවකු සිටීනම් වහාම කළ යුතු කාර්යය වන්නේ පොත් ප‍්‍රකාශන ක්ෂේත‍්‍රය වෘත්තීය මට්ටමට දියුණු කිරීමයි. සරලව කියන්නේ නම් පොතක් වශයෙන් පළ කළ යුතුම දෙයක් පමණක් පොතක් වශයෙන් පළ කිරීමේ වැඩසටහනක් ඇරඹීමට පදනම දැමීමයි.
‘පැණි වළලූ’ පොතට මෙතරම් ප‍්‍රචාරයක් ලැබුණේ ඇයි? එය ලංකාවේ මෑතකදී පළ වුණු ඉතාමත්ම වටිනා පොත නිසාද? අපට හැගෙන හැටියට නම් ‘පැණි වළලූ’ එබඳු පොතක් නොවේ. එය කියවීමේ රුචිය වඩවන පොතකි. එහෙත් එය මහාර්ඝ ග‍්‍රන්ථ රත්නයක් නොවේ. එසේ නම් ඊට මෙතරම් ප‍්‍රචාරයක් ලැබුණේ ඇයි? එකක් ගංගානාත් දිසානායක සහ ඔහු වටා සිටින පුද්ගලයන්ගේ ප‍්‍රචාරක හැකියාවයි. අනෙක මාධ්‍ය ආයතනවල සිටින වන්දිබට්ටයන්ගේ දීනකමයි. මේ රටේ හැම අවුරුද්දකම පාහේ කතාබහට ලක් විය යුතු පොත් කීපයක් වත් පළ වේ. නමුත් ඒවා පිළිබඳව සමාජයට කියන්නට ඉදිරිපත් වන පුද්ගලයන් දකින්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි.
කලකට පෙර නම් හොඳ පොතක් පළ වූ විට එය මිලදීගෙන කියවා බලා ඒ පිළිබඳ විචාර පුවත්පත් මඟින් ඉදිරිපත් කළ විචාරකයෝත් පුවත්පත් පිටු සංස්කාරකයෝත් සිටියහ. අදද එබඳු පුද්ගලයෝ ඉතා කලාතුරකින් දැකිය හැකිය. නමුත් බොහෝ විට දකින්නට ලැබෙන්නේ ප‍්‍රවීණ ලේඛකයන් පවා තමන්ගේ පොත් පිළිබඳ ප‍්‍රචාරයක් ලබාගැනීමට පුවත්පත්වල වැඩ කරන චුක්කිනියන් පසුපස කන්කෙඳිරිගාමින් යාමට සිදුව ඇති තත්වයකි. බොහෝ පුවත්පත්වල සාහිත්‍ය පිටුවල කටයුතු කරන්නන්ට පොතක් කියවා විවේචනයක් කිරීමට තරම් හැකියාවක් නැත. අඩුම තරමින් ඉතා කෙටි හැඳින්වීමක් ලියාගැනීමටවත් හැකියාවක් නැත. ඔවුන්ට කළ හැක්කේ ලැබෙන පොතේ පෙරවදනින් හෝ පසුවදනින් කෑල්ලක් උපුටා දැමීම පමණකි. මේ සඳහා නිදහසට හේතු වශයෙන් ඔවුන් දක්වන හේතු ගණනාවකි.
‘‘පොත් අරන් විවේචන දාන්න අපට පිස්සු නෑ.’’
‘‘පොත් අරන් විවේචන දාන්න අපට සල්ලි නෑ.’’
‘‘කියවන්ඩ වෙලාවක් නෑ.’’
‘‘පොතක් ගැන විවේචන ලියවගන්න කෙනෙක් නෑ. ලියල එව්වොත් දාන්නම්.’’
‘‘පිටුවෙ එච්චර ඉඩ නෑ.’’
‘‘අහවලා කැමති නෑ. මගේ ජොබ් එකත් ගහල යයි.’’
පුවත්පත්වල තමන්ගේ කල්ලියේ හිතවත් බලවතකු සිටී නම් හෝ පත්තරකාරයින්ට පඩුරුපාක්කුඩම් දොළපිදේනි පුදපූජා පවත්වන්නේ නම් තත්වය වෙනස් වේ. එවිට ඕනෑම කසිකබල්පොතක් පිළිබඳව හොඳ ප‍්‍රචාරයක් ලබාගත හැකිය. මාර්ටින් වික‍්‍රමසිංහ ඇතුළු කල්ලිය බලවත්ව සිටි කාලයේ ඔවුන්ගෙන් බැටකෑ ඩබ්ල්යු. ඒ. සිල්වා වසරක් පතා පත්තරකාරයින්ට ‘සංග‍්‍රහයක්’ පැවැත්වූ බව තතු දන්නෝ කියති.
විපක්ෂයට සම්බන්ධ ලේඛක ලේඛිකාවන්ට අපේ රටේ රාජ්‍ය මාධ්‍යයන්හි ප‍්‍රචාර ලැබෙන්නේ කෙසේද යන්න පිළිබඳව අමුතුවෙන් සටහන් ලිවිය යුතු නැත. නමුත් ‘පැණි වළලූ‘ ඒ කඩඉමද පැනගත්තේය. ඒ කෙසේද? ගංගානාත් දිසානායක එජාප නායක රනිල් වික‍්‍රමසිංහයන්ගේ සමීපතමයෙකි. විශ්වවිද්‍යාල තනතුරු ඉනිමගේ ඉහළට එන්නට ඔහුට උපකාර වුණේ ඒ සමීපකම බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ගවලින් පැවසෙයි. රනිල් යනු බොහෝ දුරට මේ රටේ ඊළඟ නායකයාය. එබඳු පුද්ගලයන් වටා සිටින්නන්ගේ හොරි කැසීම අනාගතයේ කරල පැහෙන වැඩක් බව මාධ්‍ය ඔස්තාර්ලා දනිති. නැව ගිලෙන විට පනින්නට තැනක් කෙරෙහි ඇසගසාගෙන සිටීමේ ඉව මීයන්ට තිබේ.
‘පැණි වළලූ’ පොතට ලැබුණු අන්දමේ ප‍්‍රචාරයක් මේ රටේ පළ වන වටිනා පොත්වලට දෙන්නට මාධ්‍යකරුවන්ට හැකියාවක් නැත්තේ ඇයි? මෙය මේ රටේ කමකට ඇති පොත් පළ කරන ලේඛක ලේඛිකාවන් මාධ්‍යකරුවන්ගෙන් ඇසිය යුතු ප‍්‍රශ්නයකි. පොත් කියවීමෙන් මේ රටේ මිනිසුන් දුරස්ව ඇති බව කීම මෙන්ම පොත්වලට මාධ්‍යවලින් ප‍්‍රචාරයක් දිය නොහැකිය යන්නද මිත්‍යාවක් බව ‘පැණි වළලූ’ අපට පෙන්වා දෙයි.
‘පැණි වළලූ’ පොතට ලැබුණු ප‍්‍රචාරයත් සමඟ විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලවල සමහරු කුලප්පු වූහ.
‘‘ ඕවද විශ්වවිද්‍යාල මහාචාර්යවරු ලියන පොත්? කෝ ශාස්ත‍්‍රීය පර්යේෂණ’’
‘‘ ඕකා හොර උපාධිකාරය.’’
ගංගානාත් දිසානායකට එල්ල වන චෝදනා එසේය. චෝදනාවලින් බහුතරයක් එල්ල කරන්නේ ගංගානාත්ට ලැබුණු ප‍්‍රසිද්ධිය ඉවසාගන්නට බැරිකම නිසාය. මේ චෝදනාකරුවන්ගෙන් බහුතරයකට එබඳු චෝදනා එල්ලකිරීමේ සදාචාරාත්මක අයිතියක් නැත. ඒ ඔවුන්ද විශ්වවිද්‍යාල නරාවළේ ජරාව කප්පරක් ගිල ඇති පුද්ගලයන් වන හෙයිනි. ඇතැම් ඇදුරන්ගේ චෝදනාවේ එක්තරා ඇත්තක් තිබේ. එනම් ඇතැම් විශ්වවිද්‍යාල ඇදුරන්ගේ ශාස්ත‍්‍ර හීනතාවයි.
ගංගානාත් දිසානායක බලධරයන්ගේ ආශීර්වාදය ලබා, සාමාන්‍යයෙන් ලැබෙන අධ්‍යයන නිවාඩුව වන වසර 2 වසර 4ක් දක්වා දීර්ඝ කරගෙන ජපානයේ පිස්සු කෙලමින් ඉඳ, ජපන් භාෂාවෙන් ලියා තිබුණු සහතිකයක් රැගෙන වත් ආචාර්ය උපාධිය ලෙස පෙන්වා විශ්වවිද්‍යාලය මුළා කළ බවට එක් චෝදනාවකි. ගංගානාත්ගේ ආචාර්ය උපාධි නිබන්ධය නීල් ලකී ක‍්‍රිස්ටෝපර් ලියූ එකක් බවට තවත් චෝදනාවකි. ජපන් සහතික කතාව ඇත්තක් නම්, එහි පරිවර්තනයක් ගෙන්වා ගන්නට වත් මොළයක් නැති විශ්වවිද්‍යාල නිලමක්කාරයන් ගැන හිතා ගත හැකිය. ගංගානාත් දිසානායක සේවය කරන ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉහළ පටන් පහළට වාර්තා වන ශාස්ත‍්‍ර වංචා දෙස බැලූ විට මේවා සාමාන්‍ය දේවල් යයි තර්ක කිරීමටද පුළුවන.
ජපුරේ ඉහළම පුටුවේ ඉන්නා මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආචාර්ය උපාධි නිබන්ධය වෙනත් හිමි නමක් ලියූ එකක් යයි කියති. සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ශාස්ත‍්‍රීය සොරකම් පිළිබඳව පොත් පවා පළ වී තිබේ. පූජ්‍ය කිවුලේගෙදර නාරද හිමියන් විදුරුපොල නාහිමියන්ගේ ශබ්දකෝෂයේ සංස්කාරක වශයෙන් හොර ලේබල් එල්ලාගත් අයුරු පුවත්පත්වල පළ විය. ලංකාවේ ආචාර්ය මහාචාර්යවරුන් කූපමණ්ඩුකයන් යයි කියා හතර අතට පහර දෙන මහාචාර්ය සුචරිත ගම්ලත් පැරණි උගතුන්ගේ පොත් ගෙඩිපිටින් කොල්ලකා ඇති අන්දම නුගේගොඩ ‘මොඩර්න්’ පොත් ප‍්‍රකාශන හිමිකරුගෙන් විමසූ විට දැනගත හැකිය. වර්තමාන විශ්වවිද්‍යාල උගතුන් පැරණි පුවත්පත් සඟරා ආදියේ ලිපි කොල්ලකා පොත් හා ලිපි පළ කර ඇති ආකාරය පසුගිය කාලයේ පුවත්පත්වල පළ විය.
විශ්වවිද්‍යාල උගතුන්ට වඩා අද පර්යේෂණ කරන බවක් පෙනෙන්නේ බාහිර පුද්ගලයන්ය. ‘අපට කරන්න පර්යේෂණ නෑ. සේරම පරණ කට්ටිය කරලනෙ. ඔය හැටි පර්යේෂණ කරන්න දේවල් තියෙනවයැ?’ මේ පිළිබඳව විමසූ විට විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් කීය. විශ්වවිද්‍යාලවල ශාස්ත‍්‍රීය කාර්යයන් පිළිබඳ යමක් කීම පසුවට තබමි.
ගංගානාත් දිසානායක ශාස්ත‍්‍රීය පොත්ම පළ කළ යුතු යයි නියමයක් නැත. විශ්වවිද්‍යාල ඇදුරන් සාමාන්‍ය ජනතාවට කියවිය හැකි දෙයක් පළ කිරීම සාධනීය කරුණකි. එය ලේඛකයාගේ පැත්තෙන් මෙන්ම පාඨකයාගේ පැත්තෙන්ද ගත් කල යහපත් ක‍්‍රියාවකි. එහෙත් ගංගානාත් දිසානායකගේ ශාස්ත‍්‍රීය ව්‍යායාමයන් වැදගත් වන්නේ ඔහු මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ වැදගත් නිලයක් හොබවමින් මේ රටේ අනාගතයට බලපෑම් කළ හැකි කණ්ඩායමක නායකත්වය හොබවමින් ඉන්නා නිසාය. අඩුම තරමින් ඔහුට තම පොතට (පුවත් පත් තීරු ලිපියට - මෙය පුවත්පත් තීරු ලිපි එකතුවකි.) ගැලපෙන නමක් වත් හිතාගන්නට ඔහුට හැකිවක් තිබී නැත. අපගේ විනිශ්චයට අනුව නම් නම කොපියකි. ‘බූන්දි’ බෙව් අඩවිය කොපි කිරීමකි. ‘බූන්දි’ යනු පැණි වළලූ විශේෂයකි. නමුත් ‘බූන්දි’ පුවත්පත් පාඨකයන් අතර එතරම් ජනප‍්‍රිය නැත. එනිසා ‘පැණි වළලූ’ නම දුටු විට ඔවුන්ට ‘බූන්දි’ සිහි නොවේ.
මේ සියල්ල අපට සිහි කරන්නේ ‘ගල් බනිස්’ හෙවත් ‘බැරිම තැන’ය. බේකරිවල ඉතිරිවන පාන්, බනිස් සියල්ල එකතුකර කුඩුකර අනා ගල් බනිස් නිපදවේ. මෙය ඉතා බර ආහාරයකි. එකක කෑ විට පැය ගණනකට කුසගින්න පළායයි. ‘බැරිම තැන’ යන නම ඊට යොදා ඇත්තේ එහෙයිනි. ‘ගල් බනිස්’ හදන ආකාරය ඒවා කන බොහෝ දෙනා දනිති. අද බොහෝ විශ්වවිද්‍යාල ඇදුරන්ද (මාධ්‍යකරුවන්ද) ‘ගල් බනිස්’ හෙවත් ‘බැරිම තැන’ බඳුය. විශ්වවිද්‍යාල ‘ගල් බනිස්’වලට ‘බැරිම තැන’ යන නම යෙදි ඇත්තේ, වෙනකෙකු හොයා ගන්නට ‘බැරිම තැන’ සහ විවිධ බලපෑම් නිසා වෙනකෙකු ගන්නට ‘බැරිම තැන’ ඔන්න ඔහේ පත්කරගෙන ඇති නිසාවෙනි.
අපේ විශ්වවිද්‍යාල නමැති හෝටල හමූහයේ සීනි බනිස්, ටී බනිස්, කිඹුලා බනිස් සමග ගල් බනිස් මෙන්ම ඉතා ඉහළ පෙළේ කේක්ද විකිණීමට ඇත. ඉතිරිවන කේක් බනිස් ආදියෙන් ගල් බනිස් සෑදිය හැක. ඉතිරි වන ගල් බනිස්වලට කළ හැක්කේ ඌරන්ට දැමීම පමණි.
මේ සියල්ලේ අවසාන ප‍්‍රතිඵලය විශ්විද්‍යාල අධ්‍යාපනය ‘බඩු බනිස්’ වීමයි.
පැණි වළලු පුවත් පත් තීරු ලිපිපෙළ සම්පුර්ණයෙන් නොවුනත් ටිකක් කියවුවෙමි.බාල ලියවීමක් යයි සිතේ
ReplyDeleteඔබ ලියා ඇත්තේද උඩින් පල්ලෙන්ය
ReplyDeleteබූන්දි යනු පැණි වළලු වර්ගයක් නොවේ
'බැරිම තැන' යනු 'රන් කුකුළා'කේක්ය
ගල් බනිස් වලට කිසිවකු බැරිම තැන නොකියයි
කෙනෙකු විවේචනය කරන්ට පෙර ඊට වඩා හොඳ දස්කමක් කලින් ඔබ සතු කරගන්න
දැන් මේ කොමෙන්ටුවට ඔබට කේන්ති යා යුතු නැත
එසේ යන්නෙමිනම් ඔබ කෙසේවත් මෙබඳු ලිපි ලිවීමට සුදුස්සකු නෙවේ
ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි. එයින් මගේ සිතට තරහක් ආවේ නැහැ. අදහස් ඉදිරිපත් කිරීමත් මගේ දුර්වලකම් පෙන්වාදීමත් ගැන සතුටක් ඇතිවුණා. ඔබ වැනි දැනුම් තේරුම් ඇති අය මා ලියන දේ කියවීම මට සතුටක්
Deleteඔබ කියන සමහර දේ සමඟ මම එකඟයි. විශේෂයෙන්ම මා එම ලිව්වේ හරිම කඩිමුඩියේ. එම නිසා අඩුපාඩු ඇති. ඒ වරද නැවත නොකිරීමට උත්සාහ කරන්නම්.
බූන්දි කියන්නේ පැණි වළලූම නෙවෙයි තමයි. ඒක ඉන්දියාවේ - විශේෂයෙන්ම රාජස්ථානයේ කැවිල්ලක්. ඒත් පසුකාලීනව භාවිතයත් සමඟ එහි ස්වරූපය වෙනස් වුණා. දැන් වළලූ ආකාරයට හදන බූන්දිත් අපට දකින්නට පුළුවනි. කෙසේ වෙතත් සාහිත්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ කෙනෙක් පැණි වළලූ නමින් ලිපි පෙළක් ලියද්දි මගේ හිතට එක වරම ආවේ බූන්දි වෙබ් අඩවියයි. තමන්ට ස්වාධීනව නමක් තෝරාගන්න ඇති නොහැකියාවයි මට නම් පෙනෙන්නේ.
රන් කුකුළා කේක් කලකට පෙර නම් අපිත් කෑවා. දැන් නම් තියෙනවාද කියන්න බෑ. අපේ ප‍්‍රදේශවල මේකට රන් කේක් කියලාත් කිව්වා. ඒක දුප්පතා නෑගම් යද්දි ගෙනියපු කැවිල්ලක්. අපේ කලාපයේ ගල් බනිස් නැතිනම් රොක් කේක් වලටයි ‘බැරිම තැන’ කියලා කිව්වේ. රන් කේක් බඩගින්නට කන දේකුත් නොවෙයිනෙ. සමහර විට ඔබ ප‍්‍රදේශයේ එහෙම ව්‍යවහාර වුණා වෙන්නත් පුළුවනි. භාවිතයත් එක්ක සමහර දේට ප‍්‍රාද්ශිය වශයෙන් යෙදෙන නම්වල අසමානකම් තියෙන්න පුළුවනි.
මා සර්ව සම්පූර්ණ පුද්ගලයෙක් නෙවෙයි. මට ඕන තරම් වරදින්න පුළුවනි. ඒවා පෙන්වා දෙන අය මම ඉතාම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා.
නැවතත් ඔබට ස්තූතියි.
කෝමද බ්ලොග් එක ෆලෝ කරන්නේ?
ReplyDeleteසුභ අනාගතයක් පතමි. ජය !
(ලිපිය තවම කියෙව්වේ නැත)
URL එක ඔබේ බ්ලොග් රෝලට එක් කර ගන්න.
Deleteස්තූතියි. දිගටම එන්න
Deleteහිතන්නේ දැන් පුළුවන් ෆලෝ කරන්න
හොඳ ලිපියකි. සුචරිත ගැන සුනිල් ආරි ගැන අනෙකුත් අය ගැන කියා ඇති කතා මීව වඩා සවිස්තරව ලිව්වා නම් හොඳයි.
ReplyDeleteස්තූතියි. දිගටම එන්න
Deleteමම නූගතෙකූ නිසාද මන්දා මටනං ගංගානාත් දිසානායක පෑණි වළලු හෙන රහයි
ReplyDeleteවිවිධාකාර වූ සත්වයන් ගැන කියන්නාවූ දේවල් සවිස්තරාත්මකව කියන්නට හැකි නම් අගෙයි. උඩින් පල්ලෙන් කීමෙන් සිදුවන්නේ කපුටන් හත් දෙනෙකු වමනය කල බව තොරතුරු දාමයේ අවසන් පුද්ගලයා දැනගැනීමයි.
ReplyDeleteganganath dissanayakage ha ohu wata inna ayage pracharathmaka hakiyawa gana mata poddak kiala denna puluwanda??
ReplyDelete